14th June 2022 17:36:23 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස මාස 6 කට අධික කාලයක් රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පසුගිය ඉරිදා (12) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් නික්ම යන ලදී.
ධූරයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා 51, 52 සහ 55 සේනාංකයන්හි නිල සංචාරයන්හි නිරත වෙමින් එම සේනාංකයන්හි භටපිරිස් අමතන ලදී. එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ රාජකාරි හොබවන කාලසීමාව තුළ යාපනය අර්ධද්වීපයේ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමටත්, උසස් වෘත්තීය නිපුණත්වයකින් යුතුව රාජකාරි සිදුකරමින් සියළුම නිලයින් දැක්වූ සහයෝගය සබැදිව එතුමන් සිය කෘතඥතාව පුද කළේය.
ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා වෙත 12 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය කඳවුරු පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වශයෙන් එතුමන් රාජකාරි සිදුකළ කාලසීමාව තුල යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ගනු ලැබූ අතර, එමගින් ජනතාවගේ දෛනික ජනජීවිතය සාමකාමීව පවත්වා ගැනීමටත් යාපනය අර්ධද්වීපයේ රාජකාරි සඳහා යොදවා ඇති ආරක්‍ෂක හමුදාව කෙරෙහිද මහජන විශ්වාසය තහවුරු කිරීමටද හැකි විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35ක් පමණ වූ විශිෂ්ඨ සේවා කාලයක් ඇති නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, වෘත්තීය සොල්දාදුවෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ දූරදර්ශී නායකයෙකු ලෙස යාපනය අර්ධද්වීපයේ නොමැකෙන මතක සටහන් රැසක් තැබීය.