14th June 2022 17:39:14 Hours
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය අඟහරුවාදා (7) දින 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවෙහි සිය ප්‍රථම නිල ක්‍ෂේත්‍ර සංචාරය සිදුකරන ලදී. එම සංචාරය අතරතුරදී, මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සම්බන්ධ වන ප්‍රථම ප්‍රජා මූලික ව්‍යාපෘතිය වශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි කුච්චවේලි, නිලාවේලි ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුලක් වෙත අලුතින් ඉදිකරන ලද නිවසක් භාරදෙන ලදී.
ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිව සිටින ඩබ්ලිව්. කැළුම් ක්‍රිශාන්ත දුමින්ද පීරිස් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජයසංඛ පෙරේරා මහතා සහ මධුෂා පෙරේරා මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්වල තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වය ඇතිව මාස කිහිපයක් ඇතුළත මෙම නව නිවස ඉදිකරන ලදී.
ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ සුරතින් නව නිවසේ යතුරු ප්‍රතිලාභීන් වෙත භාරදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ, 221 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනුරුද්ධ සෝලංගආරච්චි, 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ඇතුළු එම ඒකකයේ භටපිරිස්, නිවාසලාභී පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් රැසක් ද එක්ව සිටියහ.