14th June 2022 17:45:01 Hours
නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර පසුගිය ඉරිදා (12) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලස්ථානයේදී සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව, එම මූලස්ථානයේ සරඹ භූමියේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වෙත පුදකරන ලදී. ඉන් අනතුරුව පෙළපාලියේ අණදෙන නිලධාරී විසින් හමුදා සම්ප්‍රදායානූකූලව භටපිරිස්වලින් සැදුම්ලත් සරඹ පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලෙස ප්‍රධාන පීඨිකාවේ රැඳීසිටි නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත ආරාධනා කරනු ලැබීය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය. එහිදී, මහා සංඝරත්නය ඇතුළු හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික පූජකවරුන් විසින් එතුමන් වෙත ආශිර්වාද එක්කරන ලදී. අනතුරුව එතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ රාජකාරි සිදුකරමින් සිටියදී මාතෘ භූමිය ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීමට කල සටනේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් අනුස්මරණ කරමින් පලාලි පිහිටි රණවිරු ස්මාරකය අභියසදී එම විරුවන්ට පුෂ්පෝපහාර පුදකරන ලදි.
ඉන් අනතුරුව, සියළු නිල තේ පැන් සංග්‍රහයකට එක් වූ මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරත විය. මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර මෙම ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු ධූරය හෙබවූවේය.
මීට ප්‍රථම මෙම ධූරයෙහි රාජකාරි සිදුකළ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ලෙස රාජකාරි භාරගනු ලැබිණි.