17th June 2022 12:40:07 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති වශයෙන් අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අනුරාධපුර පූජා නගරයේ සංචාරයක නිරත වෙමින් ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය සහ මිරිසවැටිය චෛත්‍ය රාජයාණන් වහන්සේලා වැදපුදා ගැනීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබාගනු ලැබීය.
මෙලෙස යුද්ධ හමුදාධිපති තුමන් අනුරාධපුර පූජා නගරයේ සංචාරයක නිරතවූයේ පසුගිය සෙනසුරාදා (11) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.
යුද්ධ හමුදාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් චාරිත්‍රානුකූලව පවුලේ සමාජිකයන් සමගින් අටමස්ථානාධිපති හා උතුරු මැද ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාසාභිදාන නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි මහාසෑයේ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක හිමිපාණන් වහන්සේ සහ මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැක වැදපුදා ආශිර්වාද ලබාගත්තේය.
මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ පවුලේ සාමාජිකයින් විසින් ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය සහ මිරිසවැටිය චෛත්‍ය රාජයාණන් වහන්සේලා වෙත පුද පූජා පවත්වා ආගමික වතාවත්වල නිරත වූ අතර, එහිදී මහා සංඝරත්නය විසින් නව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කෙටි අනුශාසනාවක් පවත්වා ආශිර්වාද කරන ලදී.
එම ආගමික වැඩසටහන් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය, එම පවුලේ සාමාජිකයින් සහ යුධ සේවා ලේකම් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.