Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2022 23:42:07 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

යුද්ධ හමුදාවේ 60 වැනි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස සිය ධූරයේ පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාචාරය පුද කිරීමේ උත්සවයක් අද (11) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී. පසුව නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය. එහිදි ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූළ වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය. පසුව සරඹ පෙළපාලියේ අණදෙන නිලධාරී විසින් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස්වලින් සැදුම්ලත් සරඹ පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලෙස ප්‍රධාන පීඨිකාවේ රැදි සිටි එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත ගෞරවාචාර පුදකරමින් ආරාධනා කරනු ලැබීය.

අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී. පසුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට දැය වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ අමිල කැපකිරීම සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.

එදින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි නව ශ්‍රවණාගාරය, ආපනශාලා සංකීර්ණය සහ සෙසු නිල භෝජනාගාරය වෙත ගමන්කිරීම සඳහා ඉදිකරන ලද නව විදුලි සෝපානයද මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් විවෘත කරන ලදී.

අනතුරුව මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ රටේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිදුකරනු ලබන කාර්යභාරය අඛණ්ඩව සහ කැපවීමෙන් යුතුව සිදුකල යුතු බව අවධාරණය කලේය.

ඉන් පසු, කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවේ පැවති සියලු නිල තේපැන් සංග්‍රහය වෙනුවෙන්ද මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු එක් වූ අතර, එහිදී පැමිණ සිටි නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගන්නා ලදී.

අනතුරුව මෙම සංචාරය සනිටුහන් කරමින් නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක්ද තැබුවේය.

මෙම අවස්ථාව සඳහා එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.