12th June 2022 17:28:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (10) දින පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී. එහිදි නව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොලිස් නිලධාරීන්, නිලධාරිනියන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටපිරිස්ගෙන් සැදුම්ලත් සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.
පොලිස් මූලස්ථානය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා විසින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගන්නා ලෙස ආරාධනා කරන ලදී.
ඉන් අනතුරුව, පෙළපාලියේ අණදෙන නිලධාරි විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යනු ලැබීය. පසුව, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පොලිස්පති කාර්යාලය වෙත කැටුව යන ලදී.
පොලිස්පති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ පොලිස්පතිතුමන් අතර පැවැති සුහඳ සාකච්ඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබද අවධාණය යොමු කළේය. මෙම සුහඳ හමුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටියහ. දෙදෙනා අතර පැවැති සුහඳ හමුව අවසානයේ පොලිස්පතිතුමන් විසින් නව යුද්ධ හමුදාපතිතුමන් වෙත සුබ පැතුම් එක් කළේය.
අනතුරුව, මෙම සංචාරය සනිටුහන් කරමින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
පොලිස් මූලස්ථානයේ සිදුකළ මෙම සංචාරය සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ද සහභාගී විය.