Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2022 15:21:32 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (9) දින ගුවන් හමුදා මූලස්ථානයේ පිහිටි ගුවන් හමුදාධිපති කාර්යාලයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.

කොළඹ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත සපැමිණි ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණදෙන නිලධාරි එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ. ඉන් අනතුරුව, පෙළපාලියේ අණදෙන නිලධාරී විසින් නව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා විශේෂ පිඨීකාව වෙත ආරාධනා කරන ලදී.

ඉන් අනතුරුව, ගුවන් හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් හඳුන්වාදෙනු ලැබීය. පසුව, නව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූපයකට ද ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්වූහ.

ඉන් අනතුරුව, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ අතර පැවති සුහද හමුවේදී ආරක්‍ෂක කටයුතු සබැඳිව හමුදාවන් අතර පවතින සමීප සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කරන ලදී. සුහද හමුව සමාප්තියේ නව යුද්ධ හමුදාධිපතිතුමන් මෙම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකරන ලදී.

අනතුරුව, මෙම සංචාරය සනිටුහන් කරමින් නව යුද්ධ හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ගුවන් හමුදා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.