Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2022 16:22:02 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 35 කට අධික කාලයක් විශිෂ්ඨ සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා සංඥා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් පසුගිය සඳුදා (05) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් අශෝක පීරිස් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් අශෝක පීරිස් එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයේ ගෞරවාචාරයද භටපිරිස් විසින් පිරිනමන ලදී. පසුව, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේදී පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් වෙනුවෙන් ද එතුමන් එක්විය.

අනතුරුව, මේජර් ජෙනරල් අශෝක පීරිස් ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලු නිලයන් ඇමතූ අතර, ඔවුන් සමඟ දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී විය. මෙම අවස්ථාවේදී රෙජිමේන්තුව වෙත සිදුකරන ලද කීර්තිමත් සේවය අගයමින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

උත්සවය අවසානයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයන් විසින් ප්‍රධාන දොරටුව දක්වා ඇති මාර්ගය දෙපස සිට මේජර් ජෙනරල් අශෝක පීරිස් වෙත සිය ගෞරවාචාර පුදකළහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදී මේජර් ජෙනරල් අශෝක පීරිස් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.