06th June 2022 12:52:21 Hours
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන මේජර් ජෙනරල් අජිත් දිසානායක, මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි සහ මේජර් ජෙනරල් වන්දිත මහින්කන්ද වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (3) දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
වසර 34 කට අධික කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආදර්ශමත් සේවාවක් සිදුකර විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා සිය යුද්ධ හමුදා දිවිය තුළ විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූහ.
උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් රෙජිමේන්තු මූලස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකළහ. ඉන් අනතුරුව, වෙන් වෙන්ව පැවති උත්සවයන්හීදි භටපිරිස් විසින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. පසුව, බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය. මෙම උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙස මේජර් ජෙනරල් උපාලි ගුණසේකර (විශ්‍රාමික) ද සහභාගී වූවේය.