Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2022 17:05:15 Hours

නව යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 49 වන යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ අද (3) දින පෙරවරුවේ යුද සේවා ලේකම් කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී. එම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි විශ්‍රාම යාමෙන් අනතුරුව එතුමන් මෙම ධූරයට පත්විය.

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද සේවා ලේකම් කාර්යාලය වෙත පැමිණි මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ හමුදා සම්ප්‍රදායානුකූලව හා පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වූහ. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර එතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවූවේය.

මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඉන්දියානු හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 87 සහ ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 31 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක්විය. මූලික පුහුණුව සාර්ථකව හැදෑරු එතුමන් දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව 2 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදි.

එතුමන්, වර්ෂ 2007 - 2008 කාලය තුළ ‘හයිටි’ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ මාණ්ඩලික නිලධාරියෙකු මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා පුහුණු නිලධාරියෙකු ලෙස ද සේවය කර ඇත.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මානුෂීය මෙහෙයුමේදී නිර්භීතව සිදුකළ කැපකිරීම් වෙනුවෙන් එතුමන් වෙත රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම දෙවතාවක් පිරිනමා ඇත. එතුමන්, යාපනයේ පිහිටි 511 වන බලසේනාවේ බලසේනාධිපති ධූරය ද හොබවා ඇත.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන පීඨයේ පීඨාධිපති ධූරය හොබවා ඇති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ වෙත එම විශ්වවිද්‍යාලයේම උපායමාර්ගික අධ්‍යයන අංශයේ ප්‍රථම පර්යේෂණ සම්බන්ධීකරණ නිලධාරියා වීමේ භාග්‍යය ද හිමිවිය.

කොළඹ විශ්වවිද්‍යාලය තුලින් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සපුගස්කන්ද යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 4 සාර්ථකව අවසන් කළ උපාධිදාරියෙකු වේ. මේ වනවිට එතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ එම්ෆීල්/පීඑච්ඩී උපාධි අපේක්‍ෂාවෙන් අධ්‍යයන කටයුතු වල නිරතව සිටියි.

වර්ෂ 2015 දී සිංගප්පූරුවේ පැවති ‘Asia’s Education Excellence’ සම්මාන ප්‍රධානෝත්සවයේදී එතුමන් ‘Asia’s Education Leadership Award – 2015’ සම්මානයෙන් ද පිදුම් ලැබීය. මීට අමතරව එතුමන් ශ්‍රී ලංකාව තුළ සහ මාලදිවයිනේදී ජාතික ආරක්‍ෂක උපාය මාර්ග, පුද්ගල සංවර්ධන ක්‍රමවේද සහ මෘදු කුසලතා සංවර්ධනය පිළිබඳ දේශන සිදුකර ඇත.

මාතලේ විජය විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගෞරවනීය ආදි ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ජාත්‍යන්තර පර්යේෂණ මට්ටමේ වෘත්තීය හමුදා නිලධාරියෙකු සහ බහුවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂකයෙකු ද වේ. එමෙන්ම, ජාතික ආරක්‍ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් භූ දේශපාලනික, නායකත්වය සහ උපායමාර්ගික අධ්‍යයන යනාදිය පිළිබඳ විශේෂඥතා දැනුමක් ද එතුමන් සතු වේ.

එමෙන්ම, පසුගිය මාස කිහිපයක් තුළ එතුමන් යුද්ධ හමුදාවේ 17 වන ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කරනු ලැබීය.