Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2022 16:29:58 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් අඩු ආදායම්ලාභී පවුලක් වෙත නව නිවසක්

සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල ශ්‍රම දායකත්වය මත තවත් එක් ‘CIMIC’ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් ‘උයිලන්කුලම්’ ප්‍රදේශයේ නිවසක් නොමැතිව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම නව නිවස ඉදිකිරීම සඳහා පූර්ණ අනුග්‍රහය ඕස්ට්‍රේලියාවේ ‘ඇඩිලේඩ්’ (Adelaide) හි වෙසෙන ශ්‍රී ලාංකීකයින් සහ ‘Wellbeing SA Inc’ සංවිධානයේ සාමාජිකයින් මෙන්ම දකුණු ඕස්ට්‍රේලියාවේ වෙසෙන විශ්‍රාමික ශ්‍රී ලංකික ඉංජිනේරුවන් විසින් ලබාදුන්හ.  

මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ මඟපෙන්වීම යටතේ 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාරගේ සම්බන්ධීකරණයෙන් 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.ඒ.එන්.ඩී අතුරුගිරිය ගේ අධීක්‍ෂණය යටතේ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ඇතිව සිදුකරන ලදී.  

651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර ඕස්ට්‍රෙිලියාවේ වෙසෙන පරිත්‍යාගශීලීන් වෙත කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන් මෙම නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රහය දක්වන ලදී.

පසුගිය මැයි මස 26 වන දින නව නිවස නිවාසලාභී පවුල වෙත පවරාදෙනු ලැබු අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහභාගි වූහ.

තවද, එම උත්සව අවස්ථාව සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි, 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර, 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.ඒ.එන්.ඩී අතුරුගිරිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිවාසලාභී පවුලේ සාමාජිකයින් ඇතුළු නිවස ඉදිකිරිම සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් භටපිරිස් ද සහභාගී වූහ. නව නිවස නිවාසලාභියා වෙත පවරාදුන් අවස්ථාවේදී නිවසට අවශ්‍ය භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කරන ලදී.