01st June 2022 16:34:20 Hours
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් බදාදා (01) දින පස්වරුවෙන් අවසන් වූ පැය 48 තුළ හානියට ලක් වූ මාර්ග, නිවාස සහ වගාවන් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස් විසින් ගලවාගැනීමේ හා සහන සැලසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා රාජ්‍ය ආයතන, පොලිස් නිලධාරින් සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහයෝගය ද හිමිවූහ.
ඒ අනුව, 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් ජලයෙන් යට වූ ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වමින් ඔවුන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකළ අතර ගංවතුරෙන් අවතැන්ව සිටි අ.පො.ස. (සා/පෙළ) සිසුන් එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
මේ අතර, යටවත්ත, මැදිය සහ ගැමුණු මාවත යන ප්‍රදේශවල ඇතිවූ සුළු ගංවතුර තත්ත්වයන් හේතුවෙන් විපතට පත් පවුල් 50 කට පමණ සහන සැලසීමට බියගම ප්‍රදේශයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කටයුතු කරන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත එම භටපිරිස් ප්‍රදේශයේ මාර්ග හරහා වැටී තිබූ ගස් හා අතු කපා ඉවත් කිරීමට කටයුතු කරන ලදී.