Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2022 16:37:40 Hours

ගැමුණු හේවා බලකායේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ගැමුණු හේවා බලකායේ 22 වන රෙජිමේන්තු අධිපති ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා මැයි මස 13 දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.

එහිදී, මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා නව කාර්යාලයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

නව රෙජිමේන්තු අධිපතිතුමන්ගේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මැයි මස 14 දින හමුදා සම්ප්‍රදායානූකූල පිළිගැනීමේ උත්සවය පවත්වන ලදී. රෙජමේන්තු මූලස්ථානය වෙත සැපැමිණි මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා, ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජානක විමලරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේය. ඉන් අනතුරුව, ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමුවේය.

ඉන් අනතුරුව, මධ්‍යස්ථාන සේනාවිධායක විසින් නව රෙජිමේන්තු අධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානූකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකළ මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා ගැමුණු හේවා බලකායේ Highlanders' Paradise දේශන ශාලාවේදී භටපිරිස් ඇමතූවේය. පසුව, එතුමන් සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත සිය සුභාශිංසන පිරිනැමූහ.