Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2022 18:59:50 Hours

නික්ම යන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නව යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත සංකේතාත්මක යෂ්ටිය පිරිනමයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කරනු ලැබු 23 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයෙන් නිල වශයෙන් සමුගැනීමේ උත්සවය අද (31) දින පෙරවරුවේ යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව පැවැත්විය. එහිදි 23 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස රාජකාරි කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන මුරය පරික්‍ෂා කිරිමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ නව යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානූකූලව සංකේතාත්මක අසිපත සහ යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.

රන් රිදී පැහැයෙන් යුත් හිස් හතක් ඇති සිංහයෙකුගේ රුවින් යුක්තව නිර්මාණය කර ඇති ‘සෙරපෙන්ඩියා’ යනුවෙන් හඳුන්වනු ලබන යෂ්ටියේ දිලිසෙන අනුරුව ආඥාව සංකේතවත් කරන අතර අනෙකුත් කොටස් ස්වභාවික නීති, වෘත්තිය සඳහා ඇති ගෞරවනීයත්වය, ජාතිය, ආගම්, සංස්කෘතිය ආරක්‍ෂා කිරීම සහ රාජ්‍ය ආරක්‍ෂා කිරිම යන දැ නිරූපණය කරයි. යෂ්ටියක් භාවිතා කරන්නේ අධිකාරියට පත් අණදෙන නිලධාරීයෙකු වන බැවින් යුද්ධ හමුදාවේ වත්මන් අණදෙන නිලධාරියාට හිමි මෙම යෂ්ටිය සංකේතාත්මකව භාරදීම හමුදා ඉතිහාසයේ අණදීමේ නතතුර තවත් ඒ හා සමාන කෙනෙකු හට පැවරීම පිළිබිඹු කරයි. මෙම විසිතුරු යෂ්ටිය මගින් යුද්ධ හමුදාධිපතිවරයෙකුට පමණක් ක්‍රියාත්මක කළ හැකි අණදෙන අධිකාරිය නිරූපනය කරන අතර, මෙම සංකේතාත්මක අනුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේ වඩාත්ම ශුද්ධ වූ වැදගත්කම සහ යුද්ධ හමුදාව වෙත අණදෙන අධිකාරිය නියෝජනය කරයි.