31st May 2022 17:08:50 Hours
නව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා ධූරයෙන් නික්ම ගිය යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (31) දින භටපිරිස් අමතමින් තම 39 වසරක යුද්ධ හමුදා සේවා කාලය තුළ යුද්ධ හමුදාවේ වැඩිම පදක්කම් ප්‍රමාණයකට හිමිකම් කියන ජ්‍යෙෂ්ඨ නිලධාරියා වශයෙන් රටත්, ජනතාවත් ආරක්‍ෂා කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට තමන් නිරතුරුව කටයුතු කළ බව ප්‍රකාශ කරන ලදී.
සේවයෙන් නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් අමතා සිදුකළ දේශණය පහතින් දැක්වේ:
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ස්වේච්ජා බලසේනාවේ සේනාවිධායක ඇතුළු යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා මූලස්ථානයේ උපදේශකවරුන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, රෙජිමේන්තු අධිපතිවරුන් හා අධ්‍යක්‍ෂවරුන්, අනෙකුත් සියලුම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නිලධාරිනීන්, යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු බළලත් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, දැයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවනි, රණවීරවරියනි, සිවිල් සේවක මහත්ම මහත්මියනි,
ඔබ සැමට සුබ උදෑසනක් වේවා.....
අභිමානවත්, එමෙන්ම ප්‍රෞඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 39 ක කාලයක් සේවය කිරීමෙන් පසුව 23 වන යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්ම යන මෙම හැගීම්බර අවස්ථාවේ සම්ප්‍රදායානුකූලව ඔබ සැම ඇමතීම සඳහා අවස්ථාව උදාකරගැනීමට හැකිවීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. ඒ සදහා, අවශ්‍ය කටයුතු සූදානම් කළ හෙට දිනයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති තනතුරෙහි රාජකාරී භාරගැනීමට නියමිත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ඇතුළු සියලූම නිලධාරීන් හා සෙසුනිලයන්ට මාගේ ප්‍රශංසාව පළකිරීමට කැමතියි. ඒ වගේම, පත්වීමට නියමිත නව යුද්ධ හමුදාධිපතිවරයාට මාගේ සුබපැතුම් පළකිරීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. මා යුද්ධ හමුදාධිපති තනතුරෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා නික්ම යන්නේ ඉතාමත් ප්‍රෞඩත්වයෙන්, ආඩම්බරයෙන් සහ තෘප්තිමත් හැඟීමෙන් හා අභිමානයෙන් බවත් සඳහන් කළ යුතුයි. මා මේ තනතුරෙන් නික්ම ගියත් මාගේ ආශිර්වාදය, ආදරය සහ සැලකීම යුද්ධ හමුදාව වෙත නිරන්තරයෙන් හිමිවන අතර, රටේත් එහි වාසය කරන ජනතාවගේත් ආරක්‍ෂකයා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ප්‍රගමනය දෙස ඉතා උනන්දුවෙන් සහ සුබවාදී බලාපොරොත්තුවකින් බලාසිටින බව ප්‍රකාශ කිරීමට කැමතියි.
මේ අවස්ථාවේදී, මා විසින් යුද්ධ හමුදාව වෙත සිදුකරන ලද සේවය පිළිබද දීර්ඝ ලෙස අදහස් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. එසේ වුවත්, යුද්ධ හමුදාවෙන් නික්ම යන මොහොතේ 23 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති වශයෙන් මාගේ දැක්ම සහ මා හට යුද්ධ හමුදාව රැගෙන යාමට අවශ්‍ය වූ ස්ථානය පිළිබද යමක් ප්‍රකාශ කිරීම මාගේ යුතුකමක් ලෙස සලකනවා. එම දැක්ම ඉදිරියට පවත්වාගෙන යාම, වෙනස් කිරීම හෝ සම්පූර්ණයෙන් නැවත පටන්ගැනීම අද පටන් මා ඔබට භාරකරනවා.
මාගේ යුද්ධ හමුදා ජීවිතයේ මුල් අවධියේ සිටම පාබල හමුදා නිලධාරියෙකු වශයෙන් මාගේ මාතෘභූමිය සහ එහි ජනතාවට සේවය කිරීමට කැපවී සිටි අතර, විශ්වාසනීයත්වය, පක්‍ෂපාතීත්වය සහ නිලධාරියෙකු සතු විය යුතු විනය සහ හික්මීම මාගේ පැවැත්මේ මූලික සාධක කරගත් බව ප්‍රකාශ කිරීමට කැමතියි. ආධුනික කෙඩෙට් නිලධාරී පුහුණුවෙන් පසු 2 වන ලූතිනන්වරයෙකු ලෙස මා අධිකාරියට පත්වී ගජබා රෙජිමේන්තුවට ඇතුළත් වූයේ එම රෙජිමේන්තුවට ඉඳුරාම එක්වූ ප්‍රථම නිලධාරියා වශයෙනුයි. හමුදා ජීවිතය ආරම්භයේ මගේ ප්‍රථම අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ අතිවිශිෂ්ඨ යුද්ධ හමුදා නිලධාරියෙකු වූ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ගේ ආභාෂය, ගුරුහරුකම් සහ විශිෂ්ඨ පෞරුෂයෙන් පෝෂණයවීමට මට අවස්ථාව උදාවුණා. එසේ පෝෂණය වූ මාගේ සේවය තුළ කිසිවිටකත් සැකසහිත හැසිරීම්, නැමෙනසුළු පෞරුෂයන් හෝ අවිශ්වාසනීයභාවයක් තිබුණේ නැහැ. තවද, වර්තමාන අතිගරු ජනාධිපතිතුමන් වන ගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් මාගේ ගමන් මගෙහි සුවිශේෂී පූර්වාදර්ශකයෙක් වූ බව සඳහන් කිරීමටත් මම කැමතියි. එසේම, මා කණ්ඩභාර නිලධාරියෙකු ලෙස රාජකාරී ආරම්භ කරනවිට මාගේ ප්‍රථම කණ්ඩභාර සැරයන් වූ සැරයන් ජයසුන්දර ගේ සිට මා සමඟ මේ දක්වා රාජකාරී කළ සියලූම නිලධාරීන් හා සෙබළුන් මා හට ලබාදුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කිරීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා.
23 වන යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් මාගේ දැක්ම සෑමවිටම දිශාගත වූයේ බොහෝ දෙනා නොහැකි යැයි පැවසූ දේ කළ හැකි දේවල් බවට පත්කර පෙන්වීමයි. ඒ සදහා මම යූද්ධ හමුදාවේ දැනුම, පළපුරුද්ද, සම්පත් සහ සාමාජිකයින්ගේ හැකියාව ඒකරාශි කිරීමට කටයුතු කරනු ලැබුවා. එමෙන්ම, ළගාකරගත නොහැකි ඉලක්ක සපුරාගැනීමටත්, ඉතා අසීරු කාර්යයන් භාරගැනීමටත්, ‘නොහැක්කක් නොමැත’ යන්න ඔප්පුකිරීමටත් මා ඔබ සියලූදෙනාව බලාත්මක කළා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය, උපදෙස්, මඟපෙන්වීම සහ නායකත්වය නිරන්තරයෙන්ම ලබාදුන්නා. එමෙන්ම, ඒ වෙනුවෙන් ඔබට අවශ්‍ය බලය සහ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලූ කාරණා ඉටුකර දීමට ක්‍රියාකළා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශිෂ්ඨ හමුදාවක් බවට පත්කිරීමට සහ රටේ ජනතාව යුද්ධ හමුදාවෙන් බලාපොරොත්තු වන දේ නොපිරිහෙලා ඉටුකිරීම සඳහා භෞතික හා මානව සම්පත් සහ සංකල්පමය වර්ධනයන් මෙන්ම ඉතා අත්‍යවශ්‍ය ආකල්පමය වෙනස්කම් ඇති කළයුතු බව මා වටහා ගත්තා. එබැවින්, මා යුද්ධ හමුදාධිපති තනතුරට පත්වූ විගසම මගේ දැක්ම අර්ථවත් කරන ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම, මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය නංවාලීම, යුද්ධ හමුදා සාමාජික ප්‍රජාවේ සුබසාධනය හා දියුණුව යන ප්‍රධාන තේමාවන් 4 ක් හඳුන්වාදීමට ක්‍රියාකළා. එම තේමාවන් පරිපූර්ණ කරගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ජාතික ආරක්‍ෂාව, ජාතිය ගොඩනැගීම හා සංහිඳියාවට දායකවීම, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාපනය හා හැකියාවන් වර්ධනය, සියලූ නිලයින්ගේ වෘත්තීය ප්‍රගමනය සැලසීම, විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් ඊට අවතීර්ණ වීමට සූදානම් කිරීම යන සංකල්ප 7 ක් මත යුද්ධ හමුදාව ඉලක්කගත කිරීමටත් ක්‍රියාකරනු ලැබුවා. මෙම ඉලක්ක සපුරාගැනීම සඳහායි පසුකාලීනව ‘වෘත්තීය නිපුණත්වය, විශ්වසනීයත්වය හා ගෞරවය තුළින් විජයග්‍රාහී යුද්ධ හමුදාවක්‘ යන යුද්ධ හමුදාවේ දැක්ම මත ගොඩනැගුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට හඳුන්වාදුන් ‘2020 - 2025 යුද්ධ හමුදා පස් අවුරුදු මූලෝපායික සැලැස්ම‘ හඳුන්වාදෙනු ලැබුවේ. එහිදී, යම් අවස්ථාවන් අතරතුර ඔබට මඟපෙන්වීමටත්, යම් අවස්ථාවන්වලදී මා ඔබ පසුපසින් ලූහුබැදීමට සහ යම් අවස්ථාවන්වලදී නිවැරදිකිරීම් වලටත් යොමුකරනු ලැබුවේ සෑමවිටම සාර්ථකත්වය ලබාගැනීම සඳහා බවත් මතක් කළ යුතුයි. එහිදී, මා හට යම් යම් දැඩි තීරණ ගැනීමට පවා සිදුවුණ බව ඔබ දන්නවා. කෙසේ වෙතත්, මා ඔබ සැම රැකබලාගැනීමටත් ඔබගේ ඉදිරි ගමන්මඟ රැකදීමටත්, ඔබ යා යුතු තැනට ගමන් කරවීමටත් නිරතුරුවම කටයුතු කරනු ලැබුවා. ඔබ යුද්ධ හමුදාවේ යාමට නියමිතව තිබූ තැන සහ මාගේ නායකත්වය යටතේ ඔබ අද සිටින තැන ගැන තීරණය කිරීම මා ඔබට භාරකරනවා.
වසර 39 ක මාගේ යුද්ධ හමුදා සේවාකාලයෙන් වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීපය වෙලාගෙන පැවති ම්ලේච්ජ ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක වූ විවිධ මෙහෙයුම් මධ්‍යයේ ගතකරමින් යුද විජයග්‍රහණය ළඟාකරගැනීම සඳහා උපරිම දායකත්වය දැක්වූ ගජබා රෙජිමේන්තු සාමාජිකයෙකු ලෙස මට මහත් අභිමානයක් හිතට දැනෙනවා. මගේ සේවාකාලය තුළ මානුෂීය මෙහෙයුමේදී මා අණදුන් 58 වන සේනාංකයේ සේනාංකාධිපති තනතුර ඇතුළු විවිධ තනතුරු දරන අවස්ථාවන්හිදී මාගේ අණදීම යටතේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති වැඩි භූමි ප්‍රමාණයක් මුදාගැනීමටත් වැඩිම අවි ආයුධ ප්‍රමාණයක් අල්ලා ගැනීමටත් වැඩිම ත්‍රස්තවාදීන් ප්‍රමාණයක් විනාශ කිරීමටත් කටයුතු කරමින් මාතෘභූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම සඳහා අප්‍රමාණ කැපකිරීම් කළ සියලූම නිලධාරීන් හා සෙසුනිලයින් ගෞරවාදරයෙන් සිහිපත් කරන අතර, මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පූජාකළ වීරෝදාර රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එසේම, රණක්‍ෂිතයට පත්වූ රණවිරුවන් අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙන රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවායිද මම ප්‍රාර්ථනා කරනවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද වනවිට ළඟා වී ඇති තත්වයට ළඟාවීමට ඉතා දුෂ්කර වූ ගමන් මඟක් ඔස්සේ පැමිණීමට සිදුවූ බව මා ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ සඳහා තම ජීවිතයෙන්, ලේ වලින්, අත් පා, ඇස් හා වෙනත් ඉන්ද්‍රියන්ගෙන් කළ කැපකිරීම් අමතකව යාමට අප කිසිසේත් ඉඩදිය යුතු නැහැ. එම නිසා මා යුද්ධ හමුදාධිපති තනතුර භාරගැනීමෙන් පසු ප්‍රථම හා මූලිකතම අරමුණ වූයේ යුද්ධ හමුදාව පවත්වාගෙන ආ අභිමානය, ගෞරවය සහ විශ්වාසය පවත්වාගැනීම සහ එය වැඩිදියුණු කිරීමයි. මා යුද්ධ හමුදාධිපති තනතුර භාරගත් දා සිට යුද්ධ හමුදාව වෙත කිසිවිටෙකත් අස්වැසිල්ලක් හෝ විවේකයක් ලැබුණේ නැහැ. අපට ඉතා විශාල අභියෝග රාශියකට මුහුණදීමට සිදුවූ බව ඔබ දන්නවා. කොවිඩ් - 19 වසංගතය, ආර්ථීක අවපාතය, ස්වභාවික විපත් සහ පාස්කු ඉරුදින ප්‍රහාරයේ පසු බලපෑම් ආදී තත්වයන් මධ්‍යයේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීමට අපහට සිදුවූණා. ඒ සදහා, පැය 24 පුරාවටම අප හට ක්‍රියාකාරීව කටයුතු කිරීමට සිදුවුණා. යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් මේ අභියෝගාත්මක අවස්ථාවන් වලදී රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වන සේවය ලබා නොදීමට හෝ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය හා ප්‍රතිරූපය කිසිවිටකෙත් පළුදුකිරීමට මා ඉඩතැබුවේ නැහැ. එම අභිමානය සහ විශ්වාසනීයත්වය ඉදිරියටත් ඔබ පවත්වාගෙන යනු ඇතැයි මා බලාපොරොත්තු වනවා.
පසුගිය කාලපරිච්ඡේදයේදී අප හට ඉතා ලැදිව සහයෝගය දෙමින් අප කරන්නාවූ කාර්යයන් තේරුම්ගත් ඉතා විශාල ප්‍රමාණයක් අප වටා සිටියා. එමෙන්ම, අප ළගින්ම සිටි බව පෙන්වමින් තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයන් සදහා පමණක් ක්‍රියාකළ කොටසකුත් අපවටා සිටියා. එමෙන්ම, විවිධ පෞද්ගලික හේතුන් මත අපේ පරාජය අපේක්‍ෂා කරන යම් පිරිසකුත් අපවටා රැදී සිටියා. මා ඔවුන් කිසිවෙකුට විශේෂයෙන් සැලකීමට හෝ ඔවුන්ට බියෙන් කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට යුද්ධ හමුදාව තුළ තිබිය යුතු උපරිම විනය පවත්වාගෙන යාමටත් අපකරන සියලූම කාර්යයන් වල සාධාරණියත්වය රැකගැනීමට කටයුතු කළා. මා සැමවිටම යුද්ධ හමුදාවේ නීතිගරුකභාවය, සාධාරණීයභාවය හා වගවීම ආරක්‍ෂා කිරීමට කටයුතු කළා. එය අපගේ දියුණුව ප්‍රාර්ථනා කරන්නන් මෙන්ම අපගේ පරාජය ප්‍රාර්ථනා කරන්නන් හොඳාකාරව තේරුම්ගත් බව මා දන්නවා. සේවය, ගෞරවය, විශ්වාසය සහ ජයග්‍රහණය නිශ්චය කරමින් මාගේ යුද්ධ හමුදාධිපති සේවා කාලය නිමාකළ බැවින් මෙම ගෞරවනීය තනතුරින් අද දින මා හට ඉතා ගෞරවනීය ආකාරයෙන් නික්මයාමේ හැකියාව ලැබී තිබෙනවා.
මා ගමන් ගත් මාර්ගයේ විවිධ අභියෝගයන්ට මම මුහුණ දී තිබෙනවා. එම අභියෝග සඳහා මුහුණදීමට මා සූදානම් කරමින් ඊට අවශ්‍ය ශක්තිය සැපයූ මාගේ ආදරණීය පියාණන් මෙන්ම දැනට ජීවතුන් අතර නොමැති මාගේ ආදරණීය මෑණියන්ද මහත් ආදරයෙන් මෙම අවස්ථාවේදී සිහිපත් කළයුතු වෙනවා. ඒ වගේම, සෑම අවස්ථාවකදීම මා ධෛර්යමත් කරමින් දුක හා සැප බෙදාගත් ආදරණීය බිරිඳ හා දියණියන් දෙදෙනාත් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයිනුත් ආදරයෙන් මතක් කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. සාර්ථක පුරවැසියෙකු හා හමුදා නායකයෙකු ලෙස මා ගොඩනැගීම සඳහා අවශ්‍ය දැනුම, අවබෝධය කුසලතාවයන් මගින් මූලික අඩිතාලම දැමූ මා අධ්‍යාපනය ලද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරු මෑණිවරුන් හා පියවරුන්වත් මහත් සෙනෙහසින් හා ගෞරවාදරයෙන් සිහිපත් කිරීමත් මගේ යුතුකමක්. එමෙන්ම, නිතැතින්ම මාවෙත ඔවදන් හා අනුශාසනා ලබාදුන් සියලූම ආගම්වලට අයත් පූජ්‍ය පක්‍ෂයට මාගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළකිරීමටත් මේ අවස්ථාව යොදාගන්නවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ට ‘නොහැක්කක් නොමැති‘ බව මම සෑමවිටම විශ්වාස කරන කරුණක්. ඒ වගේම, අප සතු සමගිය, ශක්තියක් කරගැනීමෙන් අපට පැවරෙන වගකීම් සාර්ථකව ඉටුකිරීමට හැකියාව පවතින බවත් මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස වර්ෂ 2019 අගෝස්තු මස 18 වන දින මා පත්කරනු ලැබීමෙන් පසුව එම ආදර්ශයට මූලිකත්වය ලබාදෙමින් සාර්ථකව කටයුතු කිරීමට හැකිවුණු බව මගේ විශ්වාසයයි. ඒ වගේම, ගෙවීගිය වසර 02 කුත් මාස 09 ක් ඉක්මවූ යුද්ධ හමුදාධිපති තනතුරෙහි කාලසීමාව තුළ මාතෘභූමියේත් රටේ මහජනතාවගේත් ජීවිතාරක්‍ෂාව තහවුරු කරමින් ඔබ සියලූදෙනා සමග එකතුව මහජන විශ්වාසය හා ආදරය ගොඩනැගෙන ආකාරයෙන් ක්‍රියාකිරීමට හැකිවීම පිළිබදවත් මා නිහතමානීව ආඩම්බර වෙනවා.
ගෙවුණු කාලසීමාවේදී අප සියලූදෙනා එකාවන්ව කොවිඩ් මර්දන රාජකාරීන්හිදී කටයුතු කරනු ලැබුවා. අපට පැවරුණු ජාතික වගකීම රෝගයට ගොදුරුවීමේ ඇති අවධානමද නොසලකමින් දිවා රෑ නොබලා සාර්ථකව ඉටුකිරීම නිසා රට වත්මන් තත්වයට පත්කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් රටේ සියලූ ආයතනයන් හා සාමාන්‍ය මහජනතාවගේ සහයෝගය ලබාගනිමින් ඊට දායකවීමට හැකිවීම පිළිබදව මා ඉතාමත් සතුටුවෙන අතර, ඒ සඳහා ඔබ දැක්වූ කැපකිරීමද මම විශේෂයෙන් අගය කරනවා. ඒ වගේම, ඉන් අනතුරුව, හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස රටේ හරිත කෘෂිකර්මය ප්‍රචලිත කිරීමට අදාළව ව්‍යාපෘති රාශියක් සඳහා දායකවීමට හැකියාව ලැබුණු අතර, විවිධ බාධක මධ්‍යයේ වුවත් මුළු රටේම යුද්ධ හමුදා කඳවුරු ඊට දැක්වූ ධනාත්මක ප්‍රතිචාරයන් අගය කිරීමටත් මම කැමතියි.
අප මාතෘභූමිය තුළ විවිධ ආකාරයේ අභියෝගයන් පැවතියත් යුද්ධ හමුදාවේ පැවැත්ම හා ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් සිදුවියයුතු කාර්යභාරයන් සෑම අවස්ථාවකදීම නියමිත අයුරින් ඉටුකිරීමට අපට හැකියාව ලැබුණා. පස් අවුරුදු මූලෝපායික සැලැස්ම අනුව යුද්ධ හමුදාව ව්‍යුහාත්මකව හා වත්මන් තත්වයන්ට අනුගතවන ආකාරයෙන් කාලානුරූපී වෙනස්කම් වලට භාජනය කිරීම මේ වනවිට ආරම්භ කර තිඛෙනවා. ඒ යටතේ 1 වන බලකාය, ඉංජිනේරු සේනාංකය, කෘෂිකර්ම හා පශුසම්පත් බලකාය, නව අධ්‍යක්‍ෂ මණ්ඩල, මූලස්ථාන බලසේනාව, ඩ්‍රෝන රෙජිමේන්තුව වැනි නව සංවිධාන කිහිපයක් යුද්ධ හමුදාවට එක්කිරීම සදහා අපි කටයුතු කරනු ලැබුවා.
පසුගිය කාලසීමාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරීන් හා කාර්මික සෙබළුන්ගේ දායකත්වය මත භාවිතයෙන් ඉවත්කර තිබූ යුද්ධ හමුදා වාහන විශාල ප්‍රමාණයක් නවීකරණය කර නැවත භාවිතය සදහා එක්කිරීමටත් විදෙස් සාමසාධක මෙහෙයුම් සදහා අවශ්‍ය නව වාහන මෙරටදීම නිපදවීම මගින් විශාල ධනයක් ජාතික ආර්ථීකයට ඉතුරුකිරීමටත් අපි සමත්වුණා. එසේම යුද්ධ හමුදාවට අවශ්‍ය ටයර් නැවත පිරවීම, කූඩාරම් සැකසීම, සාමසාධක මෙහෙයුම් සදහා අවශ්‍ය නිලඇදුම්, හණකට්ටල ඇතුළුව යුද්ධ හමුදාවට අවශ්‍ය නිලඇදුම් හා හණකට්ටල මැසීම, ගෑස්ලිප්, යකඩ ඇදන්, බදපටි වැනි විවිධ අවශ්‍යතා යුද්ධ හමුදා කර්මාන්ත ශාලාවන් තුළම නිපදවීමත් අපි ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම, කෙටි කලක් ප්‍රමාදවී තිබූ සාමසාධක මෙහෙයුම් අවස්ථා සදහා රණවිරුවන් යොමුකිරීම නැවතත් ආරම්භ කරමින් සාමසාධක මෙහෙයුම් මගින් වත්මන් ආර්ථීක අභියෝගයට යම් දායකත්වයක් දැක්වීමටත් ජාත්‍යන්තර මෙහෙයුම් අත්දැකීම් හිමිකරගැනීමටත් අපට හැකිවී තිඛෙනවා. විශේෂයෙන්ම, මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති හා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත වශයෙන් රාජකාරි කළ කාලසීමාවේදී නව සාමසාධක මෙහෙයුම් කිහිපයක් ශ්‍රී ලංකාවට හිමිකරගැනීම සදහා මූලිකත්වය ගැනීමට හැකිවීම පිළිබදවත් මම සතුටුවෙනවා.
යුද්ධ හමුදාවේ සියලූම රණවිරුවන් වෘත්තීය ගරුත්වයකින් රාජකාරි කළයුතු බව මගේ අදහසයි. ඒ අනුව, යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන, පුහුණු පාසල් හා ඒකකයන්හි මෙන්ම අනෙකුත් හමුදා කදවුරුවල යටිතල පහසුකම් උසස් ආකාරයෙන් සංවර්ධනය කිරීම සදහා වැඩි අවධානයක් යොමුකර පසුගිය කාලවකවානුවේ ක්‍රියාකිරීමට හැකියාව ලැබුණා. එසේම, නව නිල ඇදුම් මෙන්ම අනෙකුත් සෙබළ අවශ්‍යතා සම්පූර්ණ කරමින් සෙබළාගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සදහාත් සාධනීය පියවර රාශියක් ගැනීමට අපි සමත්වුණා. එසේම, යුද්ධ හමුදාවේ විශේෂිත ඒකකයන් වෙනුවෙන් හා සාමසාධක රාජකාරීන් සදහා ප්‍රථමවරට උසස් තාකෂණයෙන් සමන්විත පරිඝණක මෘදුකාංග මගින් පාලනය වන ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර මිලදීගැනීම සදහා සියලූ ප්‍රතිපාදනයන් අනුමත කරගැනීමට අපට හැකියාව ලැබුණු අතර, මේ වනවිට එහි ක්ෂේත්‍ර පරීක්‍ෂණයන් සිදුවෙමින් පැවතීම ඉතාමත් සතුටට කරුණක්.
විවිධ අභියෝග මධ්‍යයේ වුවත් යුද්ධ හමුදාවේ නිලධාරීන් හා සෙබළුන්ගේත් රණවිරු පවුල්වලත් සුබසාධනය වෙනුවෙන් ඉටුකළයුතු සේවාවන් නියමිත ආකාරයෙන් ඉටුකිරීමට යුද්ධ හමුදාවේ දායකත්වය සෑම අවස්ථාවකදීම ලබාදෙනු ලැබුවා. විවිධ නිවාස ව්‍යාපෘති, විරු අබිමන් නිවාස ණය යෝජනා ක්‍රමය, ක්‍රීඩා පහසුකම් සංවර්ධනය, යුද්ධ හමුදා රෝහල් සංවර්ධනය හා නව මහනුවර රෝහල ඉදිකිරීම, දිස්ත්‍රික් රණවිරු සංවිධාන පිහිටුවා විශ්‍රාමික, රණකෂිතයට පත් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල අවශ්‍යතා වෙනුවෙන් දායකවීම ආදී බොහෝ කාර්යයන් වෙනුවෙන් දායකවීමට පසුගිය කාලයේ මට හැකිවීමත් අභිමානයට කරුණක්. පසුගිය කාලසීමාවේදී කොවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රමාද වී තිබූ රණවිරු නිවාස ඉදිකරදීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට සියලූ සැලසුම් මේ වනවිට සකස්කර තිබෙන බවත් මම සිහිපත් කිරීමට කැමතියි. එසේම, යුද්ධ හමුදා ඉතිහාසයේ මින්පෙර නොවූ ආකාරයෙන් සේවයේ යෙදීසිටින, විශ්‍රාමික හා මියගිය රණවිරුවන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යාධාර ලබාදීමටත් හැකියාව ලැබුණා. එසේම, යුද්ධ හමුදා නිලධාරීන් හා සෙබළුන්ගේත් රණවිරු පවුල්වලත් සුභසාධනය වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිදුකරමින් සිටින සුවිශේෂී කාර්යභාරය මෙහිදී විශේෂයෙන් අගය කිරීමටත් මම කැමතියි.
යුද්ධ හමුදා සාමාජිකයින්ට පමණක් සීමානොවී සාමාන්‍ය මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් නිවාස ව්‍යාපෘති, ශිෂ්‍යාධාර ව්‍යාපෘති, ජල ව්‍යාපෘති වැනි විවිධ මහජන සේවාවන් රාශියක් සදහා දායකවීමටත් පසුගිය කාලයේ මට අවස්ථාව උදාවුණා. එම සමාජ සේවාවන් ඉදිරියටත් පවත්වාගෙන යමින් රටේ මහජනතාව වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් සිදුවිය යුතු මහජන සේවාව සදහා උපරිම දායකත්වය ලබාදීමටත් ඔබ කැපවෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
මාගේ යුද්ධ හමුදා සේවාකාලය තුළ යුද්ධ හමුදාධිපතිවරුන් කිහිපදෙනෙකු යටතේ රාජකාරි කිරීමට අවස්ථාව උදාවුණා. ඒ වගේම, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් රාශියක් යටතේ මම විවිධ තනතුරු දරා තිඛෙනවා. එම සියලූ නිලධාරීන් මගේ දක්‍ෂතාවයන් හා හැකියාවන් හදුනාගනිමින් මගේ සේවය උපරිම වශයෙන් යුද්ධ හමුදාව වෙත ලබාගැනීමට කටයුතු කරනු ලැබුවා. එහිදී, එම ජ්‍යෙෂ්ඨයින් විසින් පවරනු ලැබූ වගකීම් ඔවුන්ගේ මගපෙන්වීම් අනුව නිසිපරිදි මවිසින් ඉටුකරනු ලැබූ බව මා විශ්වාස කරනවා. මා කෙරෙහි විශ්වාසය තැබූ එම යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨයින්ට මාගේ ස්තූතිය පළකිරීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම, මා කෙරෙහි විශ්වාසය තබමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 23 වන යුද්ධ හමුදාධිපති තනතුරට පත්කරනු ලැබූ ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ටත් මා පිළිබද විශ්වාසයෙන් ජාතිය වෙනුවෙන් විශේෂිත වගකීම් පැවරූ වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපකෂ මැතිතුමන්ටත් මාගේ සේවාකාලයේ කටයුතු කළ ගරු අග්‍රාමාත්‍යවරුන් හා ආරක්‍ෂක ලේකම්වරුන්ටත් විශේෂ ස්තූතිය පළකිරීමට මම කැමතියි.
මා ජෙනරාල්වරයෙකු වූයේත් යුද්ධ හමුදාධිපති වූයේත් ඔබ ඇතුළු වීරෝදාර රණවිරුවන් සහ ගෞරවනීය යුද්ධ හමුදාව නිසා බව මම දැඩිසේ විශ්වාස කරනු ලබනවා. එබැවින්, මා සැමදා ආදරය කළ යුද්ධ හමුදාවේත් රණවිරු ඔබගේත් ගෞරවය හා කීර්තිනාමය මෙන්ම මහජන විශ්වාසය වර්ධනය කරගැනීම සදහා තවදුරටත් කැපවී කටයුතු කිරීම ඔබ සියලූදෙනාගේ වගකීමක් බවත් මම අවධාරණය කරනවා. පසුගිය දින කිහිපයේදී ආර්ථීක අපහසුතාවයන් හේතුවෙන් මාතෘභූමිය තුළ ගොඩනැගුණු කලබලකාරී සමාජ වාතාවරණයේදීත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෘත්තීය හමුදාවක විනයගරුක සාමාජිකයින් ලෙස වෘත්තීය ගරුත්වය රැකගනිමින් අපසතු වෘත්තීමයභාවය මාතෘභූමියටත් ලෝකයටත් විදහා දැක්වීමට සමත්වී තිඛෙනවා. එම තත්වය දිගින් දිගටම පවත්වාගනිමින් රටේත්, මහජනතාවගේත්, යුද්ධ හමුදාවේත්, යුද්ධ හමුදා සාමාජිකයින්ගේත් යහපත වෙනුවෙන් ක්‍රියාකිරීම සදහා අභිනව යුද්ධ හමුදාධිපතිවරයාට ඔබගේ උපරිම සහයෝගය ලබාදිය යුතු බවද මම සිහිපත් කිරීමට කැමතියි.
යුද්ධ හමුදාධිපති තනතුරෙන් නික්මයාම හේතුවෙන් යුද්ධ හමුදාවෙන් සමුගැනීමට සිදුවුවද යුද්ධ හමුදාව සමග ඇති මාගේ මතකයන් කිසිදා අමතක වන මතකයන් නොවෙයි. මෙම කාලසීමාව තුළදී මේ දක්වාම යුද්ධ හමුදාව හා වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් සිදුකළ හැකි සෑම කාර්යයක්ම සියලුදෙනාගේ සහයෝගය ලබාගනිමින් උපරිමයෙන් ඉටුකිරීමට හැකිවීම පිළිබදව මම සතුටුවෙනවා. මගේ යුද්ධ හමුදාධිපති තනතුරෙහි රාජකාරී කාලසීමාව තුළ එම රාජකාරීන් සාර්ථකව ඉටුකිරීම සදහා දායක වුණු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීන්, ස්වේච්ජා බලසේනාවේ සේනාවිධායකවරුන් ඇතුළු යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ද යුද්ධ හමුදා උපදේශකයින්, රෙජිමේන්තු අධිපතිවරුන් හා අධ්‍යක්‍ෂවරුන්ද අනෙකුත් සියලූම ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් හා නිලධාරිනීන්ද යුද්ධ හමුදා මූලස්ථාන සැරයන් මේජර් ඇතුළු සියලූම සෙසුනිලයින්ද සිවිල් සේවක කාර්ය මණ්ඩලයද මාහට ලබාදුන් සහයෝගය වෙනුවෙන් මගේ හෘදයංගම ස්තූතිය පළකිරීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. මාගේ යුද්ධ හමුදා ජීවිතයේ මුලකුරු හදුන්වාදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයටත් මෙම අවස්ථාවේදී ගෞරවාචාරය පුුදකිරීම මගේ යුතුකමක් ලෙස සලකනවා. එසේම, මා හමුදාධිපති තනතුරෙන් නික්ම ගියත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාවට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙමින් ඔබගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතහැකි සෑම ක්‍රියාමාර්ගයකටම දායකත්වය ලබාදීමට සූදානමින් පසුවෙන බවත් මෙහිදී සිහිපත් කිරීමට කැමතියි.
අප විජයග්‍රාහී යුද්ධ හමුදාවක සාමාජිකයින් බව ඔබ දන්නවා. මාතෘභුමියේ සහ එහි වෙසෙන ජනතාවගේ නිරන්තර ආරක්‍ෂකයා වශයෙන් අපගේ ආඩම්බරය, අපගේ ගෞරවය, අපගේ අභිමානය ඔබගේත්, මාගේත් මීට පෙර යුද්ධ හමුදාවේ සේවය කළ සියලූදෙනාගේත් කැපවීම සහ මහන්සියේ ප්‍රතිඵලයි. ඔබ එහි වත්මන් කොටස්කරුවන් වන්නා සේම එය ඉදිරියට පවත්වාගෙන යාමට හැකිවන්නේත් ඔබහට පමණයි. එබැවින්, ඔබ කොතැන සිටියත්, කුමක් කළත් අපගේ මූලික අභිප්‍රාය විය යුත්තේ විජයග්‍රාහී යුද්ධ හමුදාව අභිමානයෙන් පවත්වාගෙන යාමයි. එබැවින්, ඔබ සැමගේ ශක්තිය, ධෛර්යය, එකමුතුකම සහ කැපවීම තුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජයග්‍රහණය කරා නිරන්තරයෙන් රැගෙන යන ලෙස මා ඔබගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්ම යන මාහට “ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාධිපති” බව අභිමානයෙන් ප්‍රකාශ කිරීමට හැකි තත්වයක් උදාකරදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සමස්ත වීරෝදාර රණවිරුවන්ට මාගේ ප්‍රණාමය හා ආචාරය පුදකරමින් අභිමානවත් රණවිරුවන්ගේත් හා රණවිරු පවුල්වල සැමගේත් සිවිල් සේවක කාර්ය මණ්ඩලය හා එම පවුල්වල සැමගේත් සියලූ අපේක්‍ෂා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිනෙන් දින දියුණුවට පත්වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
ඔබ සැමට විජයග්‍රාහී අනාගතයක් උදාවේවා…..