Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2022 21:00:31 Hours

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ ‘ඇසිදිසි ශාක්‍යමුණි මහාසෑයේ’ කොත් වහන්සේ නිරාවරණය කෙරේ

පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු තවත් පරිත්‍යාගශීලී බැතිමතුන් කිහිපදෙනෙකුගේ සුරතින් සාම්ප්‍රදායික බෙර වාදනයන් සහ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඓතිහාසික කූරගල ‘ඇසිදිසි ශාක්‍යමුණි මහාසෑයේ’ කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුකරනු ලැබිණි.

මෙම පුණ්‍ය උත්සවයට සහභාගී වූ බැතිමතුන්ගේ සාදු නාදයන් මධ්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවේදී, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මඟින් ගුවනින් පුෂ්ප වර්ෂා පූජාවක් සිදුකරනු ලැබීය.

කොත් වහන්සේ නිරාවණය කළ සුබ මොහොතේදී විචිත්‍රවත් බැලුන් රැසක් ගුවනට එක්විය. මෙම අවස්ථාවේදී පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන් විසින් අනුශාසනාවක් සිදුකරමින් මීට වසර කිහිපයකට පෙර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත්කිරීම සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ යුද්ධ හමුදා සාමාජිකයින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ විශාල බැතිමතුන් පිරිසක් විසින් ලබාදුන් අනුපමේය සහයෝගය සහ අනුග්‍රාහකත්වය මෙන්ම එම ව්‍යාපෘතිය වසරක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීම පිළිබඳ සිහපත් කරන ලදී. තවද, වසර 50 කට අධික කාලයක් අබලන්ව පැවති මෙම විහාරස්ථානය බැතිමතුන් වෙනුවෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භටපිරිස් විසින් සිදුකරනු ලැබූ කැපවීම වෙනුවෙන් ද එම හිමිපාණන් විසින් සිය ස්තූතිය පුදකරන ලදී.

මේ අතර, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් පීත්ත පටිය කපා කූරගල රජමහා විහාරස්ථානයේ ‘ඇසිදිසි ශාක්‍ය සුගත දම්සභා මණ්ඩපය’ ශ්‍රී ලංකාවාසී බෞද්ධයින් වෙනුවෙන් විවෘත කරනු ලැබීය. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ එක්ව තවත් පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් එම දම්සභා මණ්ඩපයේ සමරු ඵලකය ද නිරාවරණය කරනු ලැබූහ. ‘Master Guide publications Ltd’ ආයතනයේ දිස්නා වනිගසේකර මහත්මිය සහ චන්ද්‍රසේන මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින්ගේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය මත මෙම ධර්ම ශාලාව ඉදිකර ඇත.

ඉන් අනතුරුව, කූරගල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ වැඩසිටින බෝධීන් වහන්සේ වටා ඉදිකරනු ලැබූ බෝධිඝරය විවෘත කිරීම සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ තවත් බැතිමතුන් පිරිසක් එක්විය. මෙම උත්සවයේ උදෑසන සිට පැවති පුණ්‍ය කටයුතුවල පළමු අදියරේ සමාප්තිය ඒ සමඟින් සනිටුහන් විය.

පුරාවිද්‍යාත්මක වටිනාමකකින් යුත් ප්‍රාග් ඓතිහාසික විහාරස්ථානයක් වන කල්තොට, කූරගල රජමහා විහාරස්ථානයේදී පවත්වනු ලැබූ ජාතික වෙසක් සැමරුම් උත්සවය - 2022 හි දෙවන අදියර ලෙස ‘ඇසිදිසි ශාක්‍ය සුගන්ධ කුටියෙහි’ බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේලාගේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම ඉන් අනතුරුව සිදුකරනු ලැබිණි.

යුද්ධ හමුදා බෞද්ධ සංගමය, නෙත් FM ගුවන් විදුලි නාලිකාව සහ තවත් බැතිමතුන් ගේ මූල්‍යමය දායකත්වය මත ඉදිකරනු ලැබූ මෙම නව සුගන්ධ කුටිය, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය සහ ඉංජිනේරු විශේෂඥතාවය මත මෙම නව සුගන්ධ කුටියේ ඉදිකිරීම් කටයුතුද සුවිශේෂි ගෘහනිර්මාණ ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකිරීමට හැකියාව ලැබිණි. ඒ සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ද සහයෝගය හිමිවිය.

මෙම අවස්ථාවේදීම, විහාරස්ථානයේ වැඩවසන භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය වෙනුවෙන් සහ විහාරස්ථානයේ පරිපාලන කටයුතු සඳහා ඉදිකරනු ලැබූ මහල් 4 කින් සමන්විත නව සංඝාවාසය, පරිපාලන අංශය සහ භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව දාන ශාලාව සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විවෘත කරන ලදී. ඒ සඳහා කූරගල විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ආරාධනයකට අනුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පරිත්‍යාගශීලීන්, රාජ්‍ය නිලධාරීන් සහ සැදැහැවතුන් රැසක් එක්වූහ.

මෙම පුණ්‍ය උත්සවයේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහක මාධ්‍ය ජාලය ලෙස ‘සිරස’ ටීවී සහ නෙත් FM ගුවන් විදුලි නාලිකාව කටයුතු කරන ලදී.