Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2022 18:20:12 Hours

කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරස්ථාන චෛත්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කෙරේ

දේවානම්පියතිස්ස රජ සමයේ ස්ථාපිත කරනු ලැබූ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් සැලකෙන යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුත් තිස්ස රජමහා විහාරස්ථානය වෙත නව පරිච්ඡේදයක් එක්කරමින් ඉරිදා (8) දින එම විහාරස්ථානයේ නව චෛත්‍යයේ සර්වඥ ධාතූන් තැන්පත් කරන ලදී.

බෞද්ධ පූජනීය වස්තුවක් වන නවතමයෙන් ඉදිකරනු ලැබූ මෙම චෛත්‍යයේ සර්වඥ ධාතු තැන්පත් කිරීම ඉරිදා (08) දින සුබමොහොතින් සිදුකෙරුණු අතර, තිස්ස රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බින්තොට නන්දාරාම හිමිපාණන්ගේ ආරාධනයකට අනුව එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තිස්ස රජමහා විහාරස්ථාන සංවර්ධන පදනමේ ගිහි පැවිදි සැදැහැවතුන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම පුණ්‍ය උත්සවයේදී පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නව අර්ධගෝලාකාර චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් තැන්පත් කරන ලදී.

තිස්ස රජමහා විහාරස්ථාන සංවර්ධන පදනමේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ අධීක්‍ෂණය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 5 වන ඉංජිනේරු සේවා බලකායේ සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ සේවයේ නියුතු භටපිරිස්හී ශ්‍රම දායකත්වය මත මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

අඩි 100 ක් උසැති මෙම චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨය විසින් සිදුකර ඇති අතර, ඉදිකිරීම් කටයුතු සඳහා අවැසි තාක්‍ෂණික විශේෂඥතාවය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත මානවඩු සහ මහාචාර්ය නිමල් ද සිල්වා විසින් ලබාදුන්හ. මෙම නව චෛත්‍යයේ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය අවස්ථාව සඳහා මහාචාර්ය සමිත මානවඩු මහතා, මහාචාර්ය නිමල් ද සිල්වා මහතා, තුෂාරා තේනුවර මෙනවිය ඇතුළු කිහිපදෙනෙක් ද එක්වූහ.

නව චෛත්‍යයේ ධාතු තැන්පත් කිරීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ නව බුද්ධ මන්ධීරය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්විය. එහිදී, ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටින භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් එතුමන් ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයාබැලූ අතර එම ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීමේ හැකියාව පිළිබඳව ද ඔවුන් සමඟ සාකච්ඡා කළේය.

කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරස්ථානයේ නව චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ සංඝාරාමය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම 2022 වසරේ ජනවාරි මස ආගමික වතාවත් සහ මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, නාවික හා ගුවන් හමුදාවන් සහ පොලිසියේ එක්බද්ධ සහයෝගය ඇතිව සුබ මොහොතින් ආරම්භ කරන ලදී.

මීට ශතවර්ෂ කිහිපයකට ප්‍රථම දේවානම්පියතිස්ස රජ සමයේ (ක්‍රිස්තු පූර්ව 250 - 210) සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජම්බුද්වීපයේ සිට දඹකොල පටුන වෙත වැඩමවා අනුරාධපුරය බලා යන ගමනේදී විවේක ගැනීම සඳහා වැඩසිටි විහාරස්ථානය වන මෙම ඓතිහාසික පුදබිමේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වන ලදී.

මෑත අතීතයේ, එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ අනුශාසකත්වය හා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ආරක්‍ෂක අංශයන්හී අණදෙන නිලධාරින්ගේ මඟපෙන්වීම මත මෙම විහාරස්ථානයේ පුනර්ජීවනය නැවත ආරම්භ කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර 67 කට පමණ පසුව වර්ෂ 2019 දී එම විහාරස්ථාන පරිශ්‍රයේදී ‘කඨින පූජාව’ පැවැත්වීමට ද හැකියාව ලැබිණි. එමෙන්ම, මීට මාස කිහිපයකට ප්‍රථම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ සහයෝගය මත මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර (විශ්‍රාමික) විසින් මෙම ඓතිහාසික විහාරස්ථානය වෙත විශාල බුද්ධ ප්‍රතිමාවක් ද පූජා කරනු ලැබීය.

මෙම පුණ්‍ය උත්සවය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් වින්දිත මාහින්කන්ද, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උදය හේරත්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය හා විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් සහ තිස්ස රජමහා විහාරස්ථාන සංවර්ධන පදනමේ නිලධාරීන් එක්වූහ.