Header

Sri Lanka Army

Defender of the Nation

07th May 2022 22:50:07 Hours

‘ජාතික රණවිරු මාසයේ’ සමාරම්භය සනිටුහන් කරමින් රණවිරු සැමරුම් ආරම්භ කෙරේ

ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් හා උත්තරීතර පරිත්‍යාගයන් සිදුකරමින් දේශය වෙනුවෙන් දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සැමරීම වෙනුවෙන් සිකුරාදා (06) දින සිට දිවයින පුරා උත්සව මාලාවක් පවත්වමින් උපහාර පුදකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ජාතික රණවිරු සැමරුම් මාසය වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ ප්‍රධානි මේජර් ජෙනරල් නන්දන සේනාධීර විසින් සිකුරාදා (06) දින ජනාධිපති මන්ධීරයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත පළඳවමින් රණවිරු සැමරුම් මාසයේ ආරම්භය සනිටුහන් කරන ලදී.

මෙම ජාතික රණවිරු සැමරුම් මාසය වෙනුවෙන් පවත්වනු ලබන සැමරුම් උත්සවයන්හී සමාප්ති උත්සවය ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අභියස දී ‘විජයග්‍රාහී දිනය’ ලෙස හැඳින්වෙන මැයි මස 19 දින පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී, මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකිරීම, සර්ව ආගමික වතාවත් සිදුකිරීම, හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් වැයෙන හමුදා තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය වාදනය කිරීමට නියමිතව ඇත.

මෙම රණවිරු සැමරුම් උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුලු සර්ව ආගමික පූජකවරුන්, සම්භාවනීය අමුත්තන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, දිවංගත සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වීමට නියමිතව ඇත.

රණවිරු සේවා අධිකාරියේ සභාපති වන මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත සංකේතාත්මකව පළමු කොඩිය පළඳවනු ලැබූ අතර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් හා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) ඇතුලු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.