30th April 2022 04:08:45 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 134 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් මෙම සංවත්සර උත්සවයේ ආරම්භය සනිටුහන් කරනු ලැබූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී වූවේය. පසුගිය අඟහරුවාදා (19) දින පැවති මෙම සංවත්සර දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූ අතර ඔවුන් විසින් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ මෙම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකරනු ලැබූහ.
මෙම සැමරුම් උත්සවය සඳහා සුවිශේෂීත්වයක් එක් කරමින් දිවිපිදු රණවිරුවන් වෙත ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් ආචාර වෙඩි මුරයක් ද පුදකරනු ලැබූහ.
මෙම සංවත්සර දිනයේදී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත මහා සංඝරත්නය වැඩමවා එම රෙජිමේන්තුවේ සියලු නිලයන් වෙත සෙත්පතා සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර පසුදින (20) උදෑසන මහා සංඝරත්නය විෂයෙහිලා හීල් දානය ද පූජා කරන ලදී.
මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා, එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත කඳවුරු මුරයක් ද පිරිනැමූහ. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් බදාදා (20) දින සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
මෙම සංවත්සර සැමරුම් උත්සවයට කාලතුවක්කු හමුදාවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.