26th April 2022 19:38:06 Hours
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි ජේ චන්ග් මහත්මිය (Ms Julie J Chung) පසුගිය ඉරිදා (24) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වෙමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා හමුවිය.
ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ඇතුළු දූත පිරිස මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් සෙනරත් යාපා විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සේවයේ නියුතු භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන බහුකාර්ය සහ ප්‍රජා මූලික සුබසාධන ව්‍යාපෘති පිළිබඳව සංචාරයේ නිරත දූත පිරිස දැනුවත් කළ අතර ආරක්‍ෂක හමුදාවන් සහ ජනතාව අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව ද ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇතුළු දූත පිරිස දැනුවත් කරන ලදී.
යාපනය අර්ධද්වීපයේ සාමය හා සංහිදියාව පවත්වා ගැනීම සඳහා ආරක්‍ෂක හමුදාවන් දක්වන දායකත්වය වෙනුවෙන් ඇය ප්‍රශංසා කළ අතර පිටත්ව යාමට පෙර විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීමට ද අතිගරු ජූලි ජේ චන්ග් මහත්මිය කටයුතු කළාය. යාපනය අර්ධද්වීපයේ ජනතාව අතර සාමය පවත්වාගෙන යාම සඳහා ක්‍රියාකරන ආරක්‍ෂක හමුදාවන්ගේ කැපවීම එතුමිය විසින් ඇගයීමට ලක්කරන බව ද ඇය එහිදී සටහන් කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතර පැවති සුහද හමුව සමාප්තියේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම සුහද හමුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ද එක්විය.