Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2022 18:10:36 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට නව නිවසක්

යාපනය අර්ධද්වීපයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වෙත නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ යාපනයේ මයිලඩි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන රාසවල්ලන් තබෝරුබන් මහතාගේ ජීවන තත්ත්වය පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා 2021 නොවැම්බර් මස 3 දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ අවධානයට යොමුකරන ලදී.

2021 ජූනි මස 24 දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වූ ප්‍රතිලාභියා පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරනු ලැබු අතර, කෙසේවෙතත් ඒ වනවිටත් ඔහුගේ දියණියට සහ පවුලේ සාමාජිකයන්ට ස්ථිර නිවසක් නොමැතිව සිටියහ. මෙම කරුණු පිළිබඳ අවධානය යොමුකළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ සුරතින් නොවැම්බර් මස 03 දින මෙම පවුල වෙත නව නිවසක් ඉදිකරදීමේ අරමුණින් නව නිවසකට මුල්ගල් තබන ලදී.

මෙම නව නිවස ඉදිකිරීම සඳහා මුල්‍ය දායකත්වය යුද්ධ හමුදාවේ ඉල්ලීම පරිදි 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න ගේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලි විශ්ව නඩරාජා මහතා විසින් ලබා දෙන ලදී. එසේම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 515 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අරුණ විජේකෝන් ගේ අධීක්‍ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු සඳහා 10 වන මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් අවශ්‍ය ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දායකත්වය ලබා දෙන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වෙමින් ක්‍රියාන්විතයේදී පූර්ණකාලීන ආබාධයට පත්ව සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙසත් ඒ පිළිබද අදාළ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් සමඟ සාකච්ඡා කර නිවාස නොමැති පුද්ගලයින් පිළිබද තොරතුරු කඩිනමින් ලබාගන්නා ලෙසත් යුද්ධ හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්හ.

මෙසේ ඉදිකරනු ලැබු නව නිවස ව්‍යාපෘතියේ පුරෝගාමියා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පසුගිය සඳුදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්‍ෂණය (zoom) ඔස්සේ මයිලඩි ප්‍රදේශයේ ඉදිකරනු ලැබු නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සමඟ සම්බන්ධ විය. එහිදි රාසවල්ලන් තබෝරුබන් මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දීප්තිමත් අනාගතයක් සඳහා එතුමන්‍ගේ සුබපැතුම් පිරිනැමීය. මෙහිදි, ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව නිවස විවෘත කරනු ලැබීය.

නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ විශ්‍ව නඩරාජා මහතා සහ ඔහුගේ භාර්යාව වන නඩරාජා මහත්මිය සහභාගි වූ අතර, එහිදි හින්දු ආගමික වතාවත් සහ චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව නව නිවසේ යතුර නිවාසලාභියා වන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ප්‍රදානය කරන ලදී.

තවද, මෙම නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන්ගේ ඥාතීන්, නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකළ භටපිරිස් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.