Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2022 06:10:35 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි 24 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි 24 වන සංවත්සරය පසුගිය සිකුරාදා (18) දිනට යෙදී තිබිණි.

එම සංවත්සර දින සැමරුම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (17) දින වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

සංවත්සර උත්සවයේ ආරම්භයේදී ආගමික වතාවත් සඳහා මුල්තැනක් ලබාදෙමින් එම මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි බුදු මැදුරේ නව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරන ලදී. එදින සන්ධ්‍යාවේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙත ආශිර්වාද එක්කරමින් බෝධි පූජාවක් පැවැත්වූ අතර එම අවස්ථාවට එම මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ. තවද, පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහිලා හීල් දානය පූජා කරනු ලැබිණි.

සංවත්සර දිනයේදී (18), එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ වෙත 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

සංවත්සර දිනයේදී භටපිරිස් අමතමින් මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් සංවත්සර දිනයෙහි ඇති වැදගත්කම පිළිබඳ පෙන්වාදුන් අතර ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් හා උනන්දුවෙන් ක්‍රියාකරන ලෙස උපදෙස් ලබාදුන්නේය. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියළුනිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම සංවත්සර දිනයට සමගාමීව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සමඟ එම මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයන් කිහිපදෙනෙක් ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය. එහිදී, සියළු නිලධාරින් සහ සෙසුනිලයන් විසින් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන් වෙත ත්‍යාග සහ විවිධ ආහාර පාන වර්ග ද ඔවුන් වෙත ප්‍රදානය කරන ලදී.