23rd March 2022 05:51:23 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ඨ හා කැපීපෙනෙන රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ 42 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් සිදුකරනු ලැබීය.
සංවත්සර සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කමාන්ඩෝ බලසේනාව, කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලඇණි සහ පුහුණු පාසල්වල සේවයේ නියුතු භටපිරිස්හී සහභාගීත්වයෙන් පැවති මළල ක්‍රීඩා උත්සවයේ සමාප්ති උත්සවය මාර්තු මස 12 දින පැවති අතර එහිදී, ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරන ලදී.
සංවත්සර දිනය නිමිත්තෙන් එම රෙජිමේන්තුවට ආශිර්වාද එක්කරමින් පසුගිය ඉරිදා (13) දින ගනේමුල්ල පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවති අතර එම අවස්ථාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.
සඳුදා (14) දින උදෑසන පිරිත් සජ්ඣායනාව අවසන් වූ අතර එහිදී මහා සංඝරත්නයේ 42 නමක් විෂයෙහිලා හීල් දානය පූජා කරන ලදී.
එදින සන්ධ්‍යාවේ, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
කමාන්ඩෝ රෙජිමේන්තුවේ සංවත්සර දිනය යේදී තිබු පසුගිය අඟහරුවාදා (15) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න වෙත කමාන්ඩෝ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමූහ.
මෙම සංවත්සර දින සැමරුම් උත්සවය ඉතා අභිමානවත් අයුරින් සැමරීම සඳහා කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කමල් ධර්මවර්ධන සිය නොමසුරු දායකත්වය ලබාදුන් අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබාදුන්හ.