Header

Sri Lanka Army

Defender of the Nation

19th March 2022 20:28:54 Hours

චෙස් ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කිරීමට යාපනයේ පාසල් සිසුන් සඳහා වැඩමුළුවක්

ප්‍රධාන පුහුණුකරු සංජුල රවීනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුවේ උපදේශක මඩුල්ලක් විසින් යාපනය අර්ධද්වීපයේ පාසල් 10 ක සිසුන් 62 දෙනෙකු වෙනුවෙන් දමිළ භාෂාවෙන් පවත්වනු ලැබූ චෙස් පුහුණු වැඩමුළුව පසුගිය ඉරිදා (13) දින පැවති සහතිකපත් ප්‍රධානෝත්සවයෙන් සමාප්ත විය.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත 511 සහ 513 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම චෙස් පුහුණු වැඩමුළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ සහ එම කමිටුවේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩමුළුව 2022 මාර්තු මස 12 සහ 13 දෙදින තුළ කෝපායි ප්‍රදේශයේ පිහිටි CIMIC උද්‍යානයේ දී පැවැත්විණි.

මෙම වැඩමුළුවට සහභාගී වූවන් සඳහා චෙස් ක්‍රීඩාවට සම්බන්ධ මූලිකව දැනගතයුතු නීති රීතීන් සහ චෙස් ක්‍රීඩාව සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත්වීමට අවස්ථාව ලැබිණි. තවද, පාසල් සිසුන්ට අවශ්‍ය අධ්‍යයන ද්‍රව්‍ය, දිවා ආහාරය සහ මූලික පහසුකම් ද මෙම වැඩමුළුවේදී ලබාදෙනු ලැබීය.