08th March 2022 17:05:32 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි වසර අටකට අධික කාලයක් මව්බිමේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම උදෙසා උදාර සේවයක් ඉටු කරමින් සිටියදී රෝගාබාධයකට ලක්ව හදිසියේ අභාවප්‍රාප්ත වූ 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ සෙබලෙකුගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර සහිතව ඉකුත් සිකුරාදා (04) දින අච්චුවේලි පොදු සුසාන භූමියේදී ඥාතී හිතමිත්‍රාදීන්ගේ සොසුසුම් මධ්‍යයේ සිදු කෙරිණි.
අච්චුවේලි, මුතුමාරි අම්මාන් කෝවිලඩි ප්‍රදේශයේ පදිංචි සාමාන්‍ය සෙබල එන්. විවේක්, 2014 වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදී රාජකාරි ඉටු කරමින් සිටියදී ඇතිවු හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින අභාවප්‍රාප්ත විය. මෙම දේශප්‍රේමී සෙබලා තම සේවා කාලය තුළ තම සහෘදයන් මෙන්ම සම වයසේ මිතුරන්ගේද සිත් දිනා ගත්තේය. 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරී කිරීමට ප්‍රථම ඔහු 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළේය.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් යාපනය ආර්ධද්වීපයේ ස්ථානගත 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ලබාදුන් උපදෙස් මත අභාවප්‍රාප්ත සෙබලාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි.
ජාතික ධජයෙන් ආවරණය කරන ලද අභාවප්‍රාප්ත සාමාන්‍ය සෙබල එන්. විවේක් ගේ දේහය කාතුගැල මත තැන්පත් කර අච්චුවේලි සුසාන භූමිය වෙත රැගෙන යාමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල ගෞරචාචාර පිරිනමා හින්දු චාරිත්‍රානුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි.
අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු අභාවප්‍රාප්ත සෙබලාගේ දෙමාපියන් සහ ඥාතීන් හමුවී යුද්ධ හමුදා සෙබලාගේ අකල් වියෝව පිළිබඳව ශෝකය ප්‍රකාශ කළහ.