27th February 2022 19:04:31 Hours
ගුවන් සංක්‍රමික පුහුණු පාඨමාලා අංක - 24 සාර්ථකව සම්පූර්ණ කළ අතිරේක ප්‍රහාරක බලකායේ මනා පුහුණුව ලත් තවත් නිලධාරින් 6 දෙනෙකු සහ සෙසුනිලයන් 324 දෙනෙකු වෙත පසුගිය බදාදා (23) දින නිකවැව ප්‍රදේශයේ පිහිටි ගුවන් සංක්‍රමික පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති විසිරයෑමේ පෙළපාලියක දී ගුවන් සංක්‍රමික ලාංඡනයන් පැළඳවීය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් රමේෂ් මංගල සමඟින් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
පසුව, ගුවන් සංක්‍රමික පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකර විසිරයාමට නියමිත භටපිරිස් විසින් සරඹ භූමියේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සිය ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සමඟින් එක්ව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර සහ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු විසින් පාඨමාලාව සාර්ථක නිමකළ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ගුවන් සංක්‍රමික ලාංඡනයන් පැළඳවීය.
ඉන් අනතුරුව, මාස 2 ක කාලයක් පුරාවට පැවති ගුවන් සංක්‍රමික පුහුණු පාඨමාලාවේ සුවිශේෂී දක්‍ෂතා දැක්වූ සොල්දාදුවන් වෙත ඇගයීම් කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සිදුකරන ලදී.
ඒ අනුව, දක්‍ෂතම සෙබලා සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.ඩී.පී ප්‍රියංකර සම්මාන දිනාගනු ලැබූ අතර හොඳම ශාරීරික යෝග්‍යතාවයට හිමි සම්මානය 3 වන ගජබා රෙජිමේන්තුවේ සැරයන් ආර්.ඩී.පී. නන්දසිරී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සම්මාන ලබාගත්හ.
ඉන් අනතුරුව, මෙම විසිරයෑමේ උත්සවය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපදේශකවරුන් මෙන්ම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ගුවන් සංක්‍රමික භටපිරිස් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනීසිටියහ. ගුවන් සංක්‍රමික පාඨමාලාවේදී එම භටපිරිස් සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් උද්යෝගය සහ ත්‍රාසය ඇති කරමින් සංග්‍රාමික සටන්, අවි එකලස් කිරීම සහ ගුවනේ සිට කඹ ආධාරයෙන් භූමියට ගොඩබැසීම යනාදී වශයෙන් ඔවුන්ගේ කුසලතා පෙන්නුම් කරමින් මෙම උත්සවය වඩාත් ආකර්ෂණීය කරනු ලැබීය.
මෙම විසිරයෑමේ උත්සවය තවත් වර්ණවත් කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ තූර්ය වාදක කණ්ඩායම් විසින් තූර්ය වාදන සංදර්ශනයක් ද පැවැත්වීය.
මෙම විසිරයෑමේ පෙළපාලිය නැරඹීම සඳහා ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාත් සංජීව, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.