Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2022 20:30:29 Hours

නැගෙනහිර ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර යුද්ධ හමුදාධිපතිතුමන් සේරුවිල මංගලාරාම රජමහා විහාරස්ථානය වැඳපුදාගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ කඳවුරු මට්ටමින් ක්‍රියාත්මක වන කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ නිරීක්‍ෂණය කිරීම, උපදෙස් ලබාදීම සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හී සුබසාධන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සිකුරාදා (25) දින ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.

එම සංචාරය අතරතුර, සේරුවිල මංගලාරාම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධ හිමිපාණන් විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත එම විහාරස්ථානයට පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබීය.

ඒ අනුව, එම විහාරස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විහාරාධිපති හිමිපාණන් වෙත ‘අටපිරිකර’ පූජා කර ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින විහාරස්ථාන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව, කෘෂිකාර්මික ගැටළු, අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සහ යල කන්නය සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ කෘෂිකාර්මික ක්‍රමවේද ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් විහාරාධිපති හිමිපාණන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

ඉන් අනතුරුව, පූජ්‍ය අළුදෙණියේ සුබෝධ හිමිපාණන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය එම ප්‍රදේශයෙන් සොයාගැනීමට ඇති හැකියාව පිළිබඳ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනුවත් කිරීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ බෝ මළුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආශිර්වාද එක්කරමින් පිරිත් නූලක් බඳිනු ලැබීය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් එක් වූ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි, බුදුරජාණන් වහන්සේ වෙත මල් සහ ගිලන්පස පූජා කර ආගමික වතාවත්හී නිරත වීමෙන් අනතුරුව භික්‍ෂූන් වහන්සේලා විසින් සෙත් පිරිත් සජ්ඣායනා කරනු ලැබීය.

කාවන්තිස්ස රජ සමයේ ඉදිකරන ලද සේරුවිල විහාරස්ථානය තුළ බුදුන් වහන්සේගේ ලලාට දාතුන් වහන්සේ තැන්පත් කර ඇති අතර එම කලාපය මහවැලි ගඟේ ගංවතුර ජලය එක්රැස් වූ විශාල වගුරු බිමක්ව පැවති බව වංශකතාවල සඳහන් වේ. මෙම වගුරු බිම් ප්‍රදේශය එම ජල ගැලීම් කාලයන්හී සේරු පක්‍ෂීන් එක්රැස් වූ ස්ථානයකී. වර්ෂ 1922 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය මත පූජ්‍ය දඹගසාරේ සුමේධංකර හිමිපාණන් විසින් මෙම විහාරස්ථානය නැවත ප්‍රතිස්ථාපනය කර ඇත. එය පසුකාලීනය සේරුවිල ලෙස ප්‍රකට විය. එම සංරක්‍ෂණ කටයුතු වර්ෂ 1931 දී අවසන් විය.