22nd February 2022 09:17:38 Hours
මුලතිව් සහ කිලිනොච්චි ප්‍රදේශවල ජීවත්වන ආර්ථික දුෂ්කරතා සහිත ජනතාවට ඇස් කණ්නාඩි, සූර්ය පැනල, ගොවි උපකරණ, පාසල් උපකරණ සහ පොල් පැළ බෙදාදීමේ සුභසාධන ව්‍යාපෘතියක් දෙරණ මාධ්‍ය ජාලයේ ‘මනුසත් දෙරණ’ වැඩසටහනේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (12) දින අනුරාධපුර සුව ශාන්ති රෝහලේදී පවත්වන ලදී.
මෙම ප්‍රදේශවල ජිවත්වන ආර්ථික දුෂ්කරතා සහිත ජනතාව වෙනුවෙන් පැවැත්වූ ජංගම අක්‍ෂි සායනය සඳහා දෘෂ්‍යාබාධිත සිවිල් වැසියන් 550 කට අධික පිරිසක් අක්‍ෂි සායනය සඳහා සම්බන්ධ වී ඇස් පරීක්‍ෂා කරගත් අතර, එහිදී දෘෂ්‍යාබාධිත පුද්ගයන්ට නොමිලේ ඇස් කණ්නාඩි ද ලබාදුන්හ.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020 – 2025’ ට සමගාමීව යුද්ධ හමුදාවේ මානූෂීය මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් මෙම සුභසාධන ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් දෙරණ මාධ්‍ය ජාලයේ ‘මනුසත් දෙරණ’ වැඩසටහන සමඟ එකව දුෂ්කර ප්‍රදේශවල සිටින විදුලිය නොමැති අසරණ ජනතාව සඳහා සූර්ය පැනල, විදුලි ජනක යන්ත්‍ර සහ කෘෂිකාර්මික කටයුතු සඳහා පලිබෝධනාශක ඉසින ටැංකි පරිත්‍යාග කරන ලදී.
මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන අතරතුරදී, ප්‍රදේශයේ පොල් වගාව දිරිමත් කිරීම සඳහා පොල් පැල 50 ක්ද ප්‍රදානය කරන ලද අතර 572 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුගල ඇතුළු එම බලසේනාවේ භටපිරිස් හි පුද්ගලික මූල්‍ය ප්‍රථිපාදන යොදාගෙන පාසල් සිසුන් 100 දෙනෙකුට පාසල් උපකරණ පරිත්‍යාග කළහ.
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, 572 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල ද මෙම ප්‍රජා මූලික ව්‍යපෘතිය සඳහා සම්බන්ධවිය.
යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සුහඳත්වය වර්ධන කිරීමේ සහ ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් මඟහරවා ගැනීමේ අරමුණින් 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මෙම ප්‍රජා සුභසාධන ව්‍යපෘතිය සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සඳහා ආහාරපාන, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් සියලුම පහසුකම් එම ප්‍රදේශවල යුද්ධ හමුදා භටපිරිස් විසින් සපයන ලදී.