Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2022 18:16:32 Hours

CISM දින මාර්ග ධාවනයට ආරක්‍ෂක ලේකම් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි එක්වෙති

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශනයට අනුකූලව ලොවපුරා පවත්වනු ලබන උත්සවයන්ට සමගාමීව ශ්‍රී ලංකාවේ ද ‘CISM දින මාර්ග ධාවනයක්’ අද (20) දින උදෑසන කොළඹ දී පැවැත්විණි.

ක්‍රීඩාවෙහි යෙදීම ප්‍රචලිත කිරීම හා හමුදා සංදර්භය තුළ ක්‍රීඩාව මගින් සියලු ජනකොටස් තුළ සමගිය ඇතිකිරීම අරමුණු කරගනිමින් මෙවර පැවැති ‘CISM දින මාර්ග ධාවනය’ සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් සහභාගි වූහ.

මෙවර CISM දින මාර්ග ධාවනය ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ කර ගාලුමුවදොර පිටිය වෙත ගමන් කිරීමෙන් අනතුරුව නැවතත් එම මාර්ගය ඔස්සේ පැමිණ අවසානය සනිටුහන් කරන ලදී. ‘ක්‍රීඩාව හරහා මිත්‍රත්වය’ යන තේමාව පෙරදැරිව 2006 වසරේදී ආරම්භ කරන ලද මෙම උළෙල ලොව පුරා රාජ්‍යයන් 150 ක පමණ සහභාගීත්වයෙන් සෑම වර්ෂයක් පූරාම අඛණ්ඩව පවත්වනු ලබයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබු මෙවර CISM දින මාර්ග ධාවනය සඳහා රෝද පුටු මතින් ගමන් ගන්නා විරෝදාර රණවිරුවන් ඇතුළු සේවයේ නියුතු නිලධාරින් පිරිසක් ද සහභාගි වුහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ එක්ව නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් විසින් මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) උණුසුම් අයුරින් පිළිගත්හ.

සන්නද්ධ හමුදාවන් අතර ක්‍රීඩාව හරහා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ ශ්‍රේෂ්ඨ පරමාර්ථය පෙරදැරිව වර්ෂ 1948 දී ප්‍රංශ හමුදා බලඝණ නායක හෙන්රි ඩෙබ්රස්, ප්‍රංශ හමුදාව හා බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග් සහ ඩෙන්මාර්කය යන හමුදාවන් සමඟ එක්ව අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය ‘Conseil International du Sport Militaire’ (CISM) ප්‍රංශයේදී පිහිටුවන ලදී.