31st January 2022 21:17:18 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව රණක්‍ෂිතයට පත්ව සිටින රණවිරුවන් සහ යුද්ධයෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවාස තුනක් නිවාසලාභීන් වෙත පවරාදුන්හ.
මෙම නව නිවාසයන් නිවාසලාභීන් වෙත පවරාදීමේ උත්සවයන් ජනවාරි මස 25 සිට 27 දක්වා දිනයන්හිදී පැවති අතර 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර සහ 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක ගේ සහභාගීත්වයෙන් එම උත්සවයන් පැවැත්විණි.
ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත හික්කඩුවේ ගෝනපිනුවල, දෙනියායේ කොටපොල, රදීගම දලුක්ගොල්ල ප්‍රදේශවල ඉදිකරනු ලැබූ මෙම නව නිවෙස් තුන දින තුනක් තුළ පැවති උත්සවයන්හීදි නිවාසලාභීන් වෙත පවරාදෙන ලදී.
ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ශිරන්ත මිල්ලගල ගේ අධීක්‍ෂණය මත වර්ෂ 1996 දී යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් දිවිපිදූ 15 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සැරයන් කේ.පී.එස්. පද්මසිරී ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස ගෝනපිනුවල ප්‍රදේශයේදී පසුගිය අඟහරුවාදා (25) දින පැවති චාම් උත්සවයකදී නිවාසලාභින් වෙත පවරාදුන්හ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු සහභාගී වූ අතර එතුමන් නිවාසලාභී පවුලේ සාමාජිකයින් සමඟ එක්ව නව නිවස විවෘත කළේය. මෙම අවස්ථාවේදී, නිවාසලාභින් වෙත කෑම මේසයක් සමඟ පුටු හතරක් සහ ගෑස් උඳුනක් ඇතුළු ගෘහ භාණ්ඩ කිහිපයක් ද පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ශිරන්ත මිල්ලගල, 15 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් පී. ප්‍රසන්න ඇතුලු නිලධාරින් කිහිපදෙනෙක් ද සහභාගී වූහ.
එමෙන්ම, වර්ෂ 2009 දී මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් 14 වන ගජබා රෙජිමේන්තුවේ තවත් සිව්දරු පියෙකු වෙනුවෙන් 14 වන ගජබා රෙජිමේන්තුව සහ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය එක්ව කොටපාල ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බ්‍රහස්පතින්දා (26) දින පැවති චාම් උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙන ලදි.
මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලෙකුඹුර සහභාගි වූවේය. එම අවස්ථාවේදීම, නිවාසලාභින් වෙත සෝෆා පුටු සැටියක්, පුටු හයක් සහ කෑම මේසයක් ඇතුළු ගෘහභාණ්ඩ කිහිපයක් ද පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සඳහා 14 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් දමිත් මිරිහැල්ල, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි - 1 (රණවිරු සේවා) ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
2009 වසරේදී මුලතිව් ප්‍රදේශයේ පැවති වන්නි මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් 14 වන ගජබා රෙජිමේන්තුවේ තවත් වීරෝදාර රණවිරුවෙකු වෙනුවෙන් දළුක්ගොල්ල ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බ්‍රහස්පතින්දා (27) දින එම රණවිරුවා වෙත පවරාදෙන ලදී.
3 වන සහ 10 වන ගජබා රෙජිමේන්තු එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක සහභාගි වූවේය. එම උත්සවය අතරතුර නව නිවස සඳහා අඟල් 32 LED රූපවාහිනී යන්ත්‍රයක් සහ ගෑස් උඳුනක් ඇතුළු තවත් ගෘහභාණ්ඩ කිහිපයක් නිවාසලාභියා වෙත පරිත්‍යාග කරන ලදී. මෙම නව නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් සමීර අඹගහදූව සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සුදීර අබේනායක සහභාගි වූහ.
කොවිඩ් - 19 වසංගතය මධ්‍යයේ වූවද පසුබෑමකට ලක් නොවී ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ උපදෙස් හා අදාළ අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ 3 වන, 14 වන සහ 15 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවල භටපිරිස් කැපවීමෙන් යුතුව සිය ශ්‍රම දායකත්වය ලබාදෙමින් මෙම ව්‍යාපෘති සාර්ථකව නිමකරන ලදී.
මෙම උත්සව අවස්ථාවන් සඳහා නිවාසලාභි පවුල් තුනෙහි සාමාජිකයින්, ඔවුන්ගේ ඥාතීන් සහ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය දැක්වූ භටපිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහාභාගී වූහ.