Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2022 17:16:18 Hours

දියතලාව ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී සෙනසුරාදා (29) දින පැවති ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ සඳහා සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එදින උදෑසන ගැරිසන් නිවාඩු නිකේතන පරිශ්‍රයේ සංවර්ධන හා අලංකරණ ව්‍යාපෘති පිළිබඳ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

එහිදී, එතුමන් ප්‍රථමයෙන් ආධුනික පුහුණු පාඨමාලා පැවැත්වෙන 1 වන ගැමුණු හේවා බලකා පරිශ්‍රය වෙත පැමිණියේය. එම පරිශ්‍රයේ රැඳී සිටි කාලය තුළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පුහුණුලාභීන්ගේ සහ එම පාසල් පරිශ්‍රයේ පහසුකම් සහ අවශ්‍යතා පිළිබඳ එම පාසල් බලධාරින් සමඟින් සාකච්ඡා කරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 17 වන ඉංජිනේරු සේවා බලකායේ සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කර දියතලාව දුම්රිය ස්ථානය අසල ඉදිකිරීමට යෝජිත නිලධාරි නිවස්නයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ද සොයාබැලුවේය.

යුද්ධ හමුදාධිපතිතුමන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති පිළිබඳ සමීපව නිරීක්‍ෂණය කර යුද්ධ හමුදා භටපිරිස් සමඟ සාකච්ඡා කරමින්, එම ස්ථානභාර අණදෙන නිලධාරීන්ට සහ රැස්ව සිටි අනෙකුත් ව්‍යාපෘති භාර නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. මනරම් ස්වභාව සෞන්දර්යයකින් හෙබි මෙම ප්‍රදේශයේ සිදුකරනු ලබන සියලුම ඉදිකිරීම් සහ නව සංවර්ධන ව්‍යාපෘති පරිසර හිතකාමී වන අයුරින් සිදුකිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ඒ සඳහා උපදෙස් ලබාදීමට කටයුතු කළේය.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 17 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරින් ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.