Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2022 06:24:57 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සිය අත්දැකීම් සිහිපත් කරමින් කැන්බර් හි නව උපදේශකතුමන්ට සුභපැතුම් එක්කරයි

ඕස්ට්‍රේලියාවේ කැන්බර් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අභිනවයෙන් පත්වීම් ලද උපදේශක (ආරක්‍ෂක) ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් (ජී) එස්.පී. කත්‍රිආරච්චි රාජකාරින් සඳහා පිටත්ව යාමට පෙර අද (28) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙසත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සාමසාධක නියෝජිත මණ්ඩලයේ ඉහළ පෙළේ උපදේශක කමිටුව සඳහා පත්කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසත් ඉතිහාසයට එක්වන සේවයේ යෙදී සිටින පළමු හමුදා නිලධාරියා වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූර කාලය තුලදී ඉටුකළ රාජකාරි ස්වභාවය පිළිබඳව මෙම සුහද හමුව අතරතුරදී විස්තර කළේය.

“ඕස්ට්‍රේලියාව අප රට සමඟ යහපත් සබඳතාවක් පවත්වාගෙන යන බැවින් මෙම තනතුර සඳහා ඔබ පත්වීම දෙරට අතර පවත්නා සබඳතා ප්‍රවර්ධනය කළ හැකි සංකේතයක් බවත් එම සබඳතා නව තලයකට ගෙන ඒම සඳහා ඔබේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස විශේෂයෙන්ම අප රට ගැන වැරදි අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් සමඟ මෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයින් සමඟ සුහදව කටයුතු කරන අතරම ඔවුන් ඔබව ආරක්‍ෂක උපදේශකයෙකු ලෙස පමණක් නොව රාජ්‍ය නියෝජිතයෙකු ලෙස හඳුනාගැනීමට ඉඩ හරින්න. ඔවුන් මුහුණදෙන දුෂ්කරතාවලදී සැමවිටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න. නව පත්වීමත් සමඟ ඔබ ඔබේ සංවිධානයේ ඉදිරියට යන අතරම ඔබේ අනාගත වෘත්තීය අපේක්‍ෂාවන් ද පිළිබිඹු කරයි.” යැයි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුවේදී පැවසීය.

“අපට විරුද්ධ වුවන්ගේ විශ්වාසය දිනාගැනීමට උපරිම උත්සහයක් දරන්න. මන්දයත් වැරදි මතවාද දරණ එම රටවල සිටින බොහෝ ලාංකිකයන් ශ්‍රී ලංකාවේ යථාර්ථය ගැන නොදන්නා බැවින් වඩාත් හොඳ සබඳතාවයක් සහ අවබෝධයක් පවත්වාගනිමින් සෘජූවම සම්බන්ධ වන ලෙස අතිගරු ජනාධිපතිතුමන් ඩයස්පෝරාවට ආරාධනා කර ඇත. එබැවින් ඔබගේ නව පත්වීමට බහුවිධ වටිනාකමක් ඇත. අවම වශයෙන් කිවහොත්, නිවැරදි දෘෂ්ටිකෝණයකින් යුතුව විශ්වාසයෙන් හා කැපවීමෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔබ පෙනී සිටින්න,” සිය අත්දැකීම් තුළින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව උපදේශක කපිතාන් එස්.පී. කත්‍රිආරච්චි වෙත මෙම සුහද හමුවේදී පැවසීය.

මෙම සුහද හමුව අවසානයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව උපදේශකතුමන්ට සිය සුබපැතුම් පිරිනමමින් එතුමන්ට උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික විය.