Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2022 20:59:24 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කළ පුද්ගලික ආරක්‍ෂක උපකරණ දිවයින පුරා පිහිටි රෝහල් 25 ක් අතර බෙදාදෙති

ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ අනුග්‍රාහකත්වය ඇතිව අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගයක් පසුගියදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කෙරිණි.

එම පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මියගේ මූලිකත්වයෙන් කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත භාරදීමෙන් අනතුරුව පසුගියදා දිවයින පුරා පිහිටි රජයේ රෝහල් 25 ක් අතර එම උපකරණ තොගය බෙදාදෙන ලදී.

ඒ අනුව, මෙම පුද්ගලික ආරක්‍ෂක උපකරණ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් නුවරඑළිය දිස්ත්‍රික් රෝහල, 12 වන සේනාංක මූලස්ථානය වෙතින් අම්බලන්තොට ප්‍රාදේශීය රෝහල, 23 වන සේනාංක මූලස්ථානය වෙතින් හිඟුරක්ගොඩ මූලික රෝහල, 14 වන සේනාංක මූලස්ථානය වෙතින් නාරාහේන්පිට ඩෙංගු මර්දන ඒකකය, 61 වන සේනාංක මූලස්ථානය වෙතින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය, 24 වන සේනාංක මූලස්ථානය වෙතින් කල්මුණේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය, 57 වන සේනාංක මූලස්ථානය වෙතින් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල, 59 වන සේනාංක මූලස්ථානය වෙතින් මුලතිව් දිස්ත්‍රික් රෝහල, 54 වන සේනාංක මූලස්ථානය වෙතින් මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය, 56 වන සේනාංක මූලස්ථානය වෙතින් වවුනියාව මහ රෝහල, 21 වන සේනාංක මූලස්ථානය වෙතින් කැකිරාව මූලික රෝහල, 22 වන සේනාංක මූලස්ථානය වෙතින් ත්‍රිකුණාමලය මහ රෝහල, 11 වන සේනාංකය වෙතින් මහනුවර ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශය, 58 වන සේනාංක මූලස්ථානය වෙතින් පුත්තලම මහ රෝහල, 51 වන සේනාංක මූලස්ථානය වෙතින් යාපනය ශික්‍ෂණ රෝහල, 112 වන බලසේනා මූලස්ථානය වෙතින් බදුල්ල මහ රෝහල, 611 වන බලසේනා මූලස්ථානය වෙතින් කෑගල්ල මහ රෝහල, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙතින් සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය, 583 වන බලසේනා මූලස්ථානය වෙතින් කුරුණෑගල ශික්‍ෂණ රෝහල, 111 වන බලසේනා මූලස්ථානය වෙතින් මාතලේ මහ රෝහල, 613 වන බලසේනා මූලස්ථානය වෙතින් මාතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය, 141 වන බලසේනා මූලස්ථානය වෙතින් ගම්පහ මහ රෝහල, දිවුලපිටිය දිස්ත්‍රික් රෝහල, දොම්පේ මූලික රෝහල සහ උඩුපිල මූලික රෝහල, 121 වන බලසේනා මූලස්ථානය වෙතින් බිබිල මූලික රෝහල, 582 වන බලසේනා මූලස්ථානය වෙතින් කළුතර මහ රෝහල, 231 වන බලසේනා මූලස්ථානය වෙතින් කාත්තන්කුඩි මූලික රෝහල, මඩකලපුව ශික්‍ෂණ රෝහල සහ නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.

පසුගිය කාල වකවානුවේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලෙස කටයුතු කල යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් දිවයින පුරා කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදුන් දායකත්වය පැසසුමට ලක්කරමින් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමය විසින් ඇමරිකානු ඩොලර් 200,000 ක් පමණ වටිනාකමකින් යුත් මෙම පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පසුගියදා පරිත්‍යාග කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මෙම පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගය පසුගිය සඳුදා (03) දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත භාරදුන්හ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සම්බන්ධීකරණයෙන් එම උපකරණ තොගය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් රෝහල් අතර බෙදාදීම සඳහා දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා කඳවුරු වෙත භාරදීමට පියවර ගනු ලැබීය.