11th January 2022 05:00:44 Hours
මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 2 යටතේ පුරා මාස තුනකට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 308 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා පැවැත්විණි.
මෙම ආධුනික පුහුණු පාඨමාලාව යටතේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ආධුනික සෙබලුන් විසිරයාමේ පෙළපාලියේ ගෞරවාචාරය ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පුදකළහ.
මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් සුමිත් ප්‍රියන්ත ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර සහභාගී වූවේය.
පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ඉංජිනේරු සේවා බලකායේ ආධුනික සෙබල ඒ.ආර්.එස්. සෙනෙවිරත්න විසින් හිමිකරගත් අතර සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ආධුනික සෙබල එච්.ජී.එස්. සන්දීප විසින් හිමිකරගත්තේය.
එසේම, පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සිසුවාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබල එස්.සී.අයි.ඩී. චන්ද්‍රසිරි විසින් හිමිකරගන්නා ලදී.
කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විසිරයාමේ පෙළපාලිය සඳහා බලඇණි පුහුණු පාසලේ උපදේශක නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගී වූහ.