Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2022 05:49:40 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය නව වසරේ වැඩ කරන පළමු දිනය උත්සවාකාරයෙන් ආරම්භ කරයි

කොස්ගම ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය නව වසරේ වැඩ ආරම්භ කරන පළමු දිනය (ජනවාරි 3) සනිටුහන් කරමින් එම මූලස්ථානයේ චාම් උත්සවයක් පැවැත්විණි. ජාතික ධජය හා යුද්ධ හමුදා ධජය එසවීම, ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීම සහ නව වර්ෂය සඳහා වන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම මෙම උත්සවයේ ප්‍රධාන අංගයන් විය.

මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් ජාතික ධජය සහ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කළහ.

ඉන් අනතුරුව, මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීම සිදුකෙරිණි.

නව වසරේ උදාව සනිටුහන් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත්කළ පණිවිඩය කියවීම ඉන් අනතුරුව සිදුවිය.

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක භටපිරිස් අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවය සහ කීර්තිනාමය ආරක්‍ෂා කිරීමේ වැදගත්කම මෙන්ම මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් හැකි උපරිමයෙන් සිය වගකීම් ඉටුකිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

එමෙන්ම, විශ්වාසදායී සේවාවක් ලබාදෙමින් රටේ අපේක්‍ෂිත අරමුණු කරා ළඟාවීමට සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම අවශ්‍ය බව ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද සහභාගී වූහ.