06th January 2022 08:18:50 Hours
ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (3) දින පෙරවරුවේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීම සහ නව අවුරුදු සුබපැතුම් හුවමාරු කරගනිමින් නව වසරේ වැඩ කරන පළමු දිනය ආරම්භ කරන ලදී.
ජාතික ධජය හා යුද්ධ හමුදා ධජය එසවීම, ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීම සහ නව වර්ෂය සඳහා වන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම මෙම උත්සවයේ ප්‍රධාන අංගයන් විය.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහභාගී වීමත් සමඟ උත්සවයේ වැඩකටයුතු වල ආරම්භය සනිටුහන් විය.
ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් ජාතික ධජය සහ යුද්ධ හමුදා ධජය එසවූ අතර එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.
පසුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීය ගායනා කිරීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවකින් පැවැත්වූහ. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් භටපිරිස් අමතා සිය දේශනය ඉදිරිපත් කළේය. එහිදී, පසුගිය වසරේ මුහුණදුන් විවිධ අභියෝග සහ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැප වී කටයුතු කිරීම ආදී කරුණු පිළිබඳ යලි ආවර්ජනය කළ අතර රටේ යහපත වෙනුවෙන් යුද්ධ හමුදාවට පැවරී ඇති නව වගකීම් සහ යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් සතු වගකීම පිළිබඳ පැහැදිලි කළේය.