Header

Sri Lanka Army

Defender of the Nation

07th January 2022 18:37:08 Hours

දෘශ්‍යාබාධිත රණවිරුවන් දෙදෙනෙකුට අති නවීන කියවීමේ උපකරණ පරිත්‍යාගයක්

වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුම් අතරතුරදී රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට අවශ්‍ය පහසුකම් සලසන යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්ව පෙනීම අහිමු වු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකුට ස්මාර්ට් කැමරා සහිත OrCam Read උපකරණ දෙකක් පරිත්‍යාග කරන ලදී.

ඊශ්‍රායලයේ නිෂ්පාදනය කරන ලද රුපියල් මිලියන 1.4 ක පමණ වටිනාකමකින් යුත් අති නවීන මෙම උපාංග දෙක Orel IT පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය උපේන්ද්‍ර පීරිස් විසින් පරිත්‍යාග කරන ලදී. මේ සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආශිර්වාදය ද හිමිවිණි.

ස්වයංක්‍රීය OrCam Read උපාංගය උපැස් යුවල හා සම්බන්ධ කිරිම මඟින් ඕනෑම ඉංග්‍රීසි භාෂා ලේඛනයක ශ්‍රව්‍ය පරිවර්ථනයක් ලබා ගැනීමට පරිශීලකයාට හැකියාව පවතී. ඒ අනුව, මෙම උපකරණ දෙක මානුෂීය මෙහෙයුමේදී තුවාල ලබා පෙනීම අහිමි වූ බ්‍රිගේඩියර් සිසිර ධර්මසේන සහ ලුතිනන් කර්නල් දුෂන්ත යාපා වෙත ප්‍රදානය කෙරිණි.

පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න සහ Orel IT පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය උපේන්ද්‍ර පීරිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (29) දින පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සවයකදී මෙම උපකරණ පරිත්‍යාග කළහ.