Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 21:00:39 Hours

වල්ලිපුරම් ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ සහ ප්‍රදේශවාසීන්ට වියළි සලාක පරිත්‍යාග කෙරේ

මුලතිව් ප්‍රදේශයේ අධ්‍යාපනය හදාරණ පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම තවදුරටත් ඉහළ නැංවිමේ අරමුණින් ‘Hope of the Children’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් වල්ලිපුරම් ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ හා පාවහන් මෙන්ම ප්‍රදේශවාසීන්ට වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (30) දින දියත් කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ මඟපෙන්වීම මත මුලතිව් දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් හා ආරක්‍ෂක අංශ අතර පවතින් සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම වැඩසටහන 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිර්ති බණ්ඩාර සහ 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් හෙට්ටිආරච්චි ගේ සම්බන්ධීකරණය මත වල්ලිපුරම් පාසල් පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන යටතේ පාසල් සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා පාසල් උපකරණ, ඇඳුම්, පාවහන් සහ පොත්පත් බෙදාදුන් අතර ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙළෙන එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් ඇතුළු සිවිල් වැසියන්ට වියළි සලාක පාර්සලයක් බැගින් පරිත්‍යාග කරන ලදී. ඉන් අනතුරුව, මෙම වැඩසටහනට තවත් සුවිශේෂීත්වයක් එක්කරමින් ප්‍රතිලාභීන් වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමූහ.

681 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ගැමුණු හේවා බලඇණියේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරින්ගේ උපදෙස් මත එම ඒකකයන්හී භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට රදගුරු ගීවර්ගීස් මකරියෝස් පූජකතුමන්, පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් එස්. ජෙයකාන්ත් මහතා, ආර්. තමයිල් මාරන් මහතා සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සිවගුරු සින්නරාසා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සමඟින් ව්‍යාපෘතියේ අනුග්‍රාහක භවතුන් සහභාගී වූ අතර 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර, 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් හෙට්ටිආරච්චි, 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්ති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ වල්ලිපුරම් විද්‍යාලයේ විදුහල්පතිතුමන් ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.