03rd January 2022 17:02:32 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබිමෙන් පසු ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (31) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (03) දින කඩවත, ඇල්දේණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරිණි. එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පවුලේ සාමාජිකයින් සහ තවත් ශෝකයට පත් පිරිසක් ද සහභාගී වූහ.
කඩවත ප්‍රදේශයේ පිහිටි බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ නිවසින් සිය දේහය රැගෙන යාමට පැයකට පමණ පෙර එතුමන්ගේ නිවසට පැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ නිසල දේහයට පුෂ්පෝපහාර පුදකර අවසන් ගෞරව දැක්විය.
බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ භාර්යාව සහ දරුවන් සමග අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ හදිසි වියෝව පිළිබද බලවත් ශෝකය ප්‍රකාශ කරමින් එතුමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අනාගත කටයුතු වෙනුවෙන් හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවද එහිදි බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ පවුලේ සාමාජිකයන් වෙත පැවසීය.
එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ දේහයට අවසන් ගෞරව දැක්විය. අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට ප්‍රථම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළේය.