Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 21:45:39 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් තවත් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ‘82 අපි’ නම් සමාජ සුභසාධන සංවිධානය විසින් සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත පසුගිය සඳුදා (21) දින වවුනියාව ගාමිණී ජාතික පාසලේ ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පාසල් උපකරණ, පාසල් බෑග්, රසායනාගාර මෙවලම් සහ රසායනික ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී. ඊට අමතරව, එම පාසලේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ නව පරිගණක විද්‍යාගාරයේ විදුලි රැහැන් පද්ධතිය ද ප්‍රතිසංස්කරණය කරන ලදී. එමෙන්ම, එම පාසලේ සිසු සිසුවියන් සහ ගුරුභවතුන් වෙනුවෙන් ENT වෛද්‍ය සායනයක් ද පැවැත්විණි.

1982 වර්ෂයේ උපත ලද විදේශයන්හී වෙසෙන සමකාලීනයන්ගෙන් සමන්විත ‘82 අපි’ සංවිධානයේ අනුග්‍රාහක භවතුන්ගේ ආරාධනාවකට අනුව මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී වූවේය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරුභවතුන් සමඟ සාකච්ඡා කර ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගෙනීමේ කටයුතු සිදුකරනු ලබන සියලුම සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී. ඒ සඳහා අනුග්‍රාහක භවතුන් වෙත යුද්ධ හමුදා භටපිරිස්හී සහයෝගය හිමිවූහ.

මෙම අවස්ථාව සඳහා ‘82 අපි’ සංවිධානයේ නිර්මාතෘ තේජන අබේධීර මහතා, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි ලියනගේ, සුජානි සෙනරත් මහත්මිය ඇතුළු ‘82 අපි’ සංවිධානයේ නියෝජිතයින් කිහිපදෙනෙක්, 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සේනක ප්‍රේමවංශ, වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්සලාල් ද සිල්වා මහතා, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 56 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්.කේ.ඒ.එස්. ප්‍රියන්තලාල්, 17 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එච්.කේ. කුමාරසිරී ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් කිහිපදෙනෙකු මෙන්ම වවුනියාව ගාමිණී ජාතික පාසලේ ගුරුභවතුන් සහ සිසු සිසුවියන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.