31st December 2021 11:07:29 Hours
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි දර්ශන විජේසිංහ මහතා ප්‍රමුඛ දානපතියන් පිරිසක් විසින් දැක්වූ අනුග්‍රාහකත්වය මත අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි කඳුරුපිටිය අශෝකමාලා විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් 103 දෙනෙකු වෙනුවෙන් නොමිලේ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ මූලිකත්වයෙන් දෙසැම්බර් මස 17 දින පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.ජී.ජේ.එන්. ආරියතිලක සමඟින් 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඩී. රත්නසිරි එක්ව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන කඳුරුපිටිය අශෝකමාලා විද්‍යාලයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ දෙමාපියන් සහභාගී වූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහභාගී වූ අතර තවත් බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.
මේ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් තවත් පරිත්‍යාගශීලීන් තිදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත නව වසරේ පාසල් සැසිවාරය ආරම්භ වීමට ප්‍රථම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිල්පාශෝක ප්‍රථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පවුල්වල පාසල් සිසු සිසුවියන් 91 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.ජී.ජේ.එන්. ආරියතිලක සහ 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී විසින් දෙසැම්බර් මස 20 දින සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ සුරතින් එම පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සිල්පාශෝක ප්‍රථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ගුරුවරුන් ද සහභාගී වූහ.