Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 11:14:04 Hours

මුල්ලේරියාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලකට යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් නව නිවසක්

මහජන බැංකුවේ බෞද්ධ සංගමේ ආචාර්ය මාධව තේනුවර මහතා ඇතුළු පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ මුල්‍යමය අනුග්‍රහකත්වය ඇතිව මුල්ලේරියාව උතුරු ග්‍රාම නිලධාරි වසමේ පදිංචි වෙල්ගමගේ සුදර්ශන ප්‍රභාත් මහතා ඇතුළු දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් අඩු ආදයම්ලාභි පවුල වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස ඉකුත් අඟහරුවාදා (28) දින විවෘත කරනු ලැබීය.

මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකය විසින් ලබාදුන් උපදෙස් මත 144 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වින්දන කොඩිතුවක්කු ගේ අධික‍්‍ෂණය යටතේ එම බලසේනාව යටතේ ස්ථාපිත 12 වන ගජබා රෙජිමේන්තවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ සමගාමීව ක්‍රියාවට නැංවිණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න සහභාගි විය. තවද එම අවස්ථාවට 144 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වින්දන කොඩිතුවක්කු සහභාගි විය.

ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනුග්‍රාහකභවතුන් විසින් සමරු ඵලකය නිරාවරණය කර නව නිවස සුභ මොහොතින් විවෘත කරන ලදී. ඉන් අනතුරුව, පුරාණ චාරිත්‍රවාරිත්‍රයන්ට අනුකූලව පොල්තෙල් පහන දල්වා කිරි ඉතිරවීම සිදුකරන ලදී. එම පවුලේ දරු දැරියන්ට ‘සිසු උදාන’ බැංකු ගිණුම් විවෘත කර ප්‍රදානය කිරීම ද එම උත්සවය අතරතුරදී සිදුවිය.

මෙම අවස්ථාවට 144 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 12 වන ගජබා රෙජිමේන්තවේ අණදෙන නිලධාරි, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි, මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ සභාපති සුජිව රාජපක්‍ෂ මහතා, කොටිකාවත්ත මහජන බැංකු ශාඛාවේ කළමනාකරු ජයසුරිය මහතා සහ එම මැතිණිය ඇතුළු පරිත්‍යාගශීලින් පිරිසක් සහභාගි වූහ.