Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2022 01:00:39 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකායේ කාර්යභාරය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

“ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025 ට සමගාමීව යුද්ධ හමුදාවේ 53 සහ 58 වන සේනාංක, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකාය සහ ගුවන් සංක්‍රමික බලසේනාව ඒකාබද්ධ කරමින් ස්වභාවික හෝ මිනිසා විසින් සිදුකරන ලද ඕනෑම හදිසි ව්‍යසනයකට අතිරේක ප්‍රහාරක භටයින් ලෙස මුහුණදීම සඳහා යුද්ධ හමුදාවේ 1 වන බළකාය ස්ථාපිත කරන ලදී. මෑත කාලීනව සිදු වූ ආපදා සහ ගංවතුර තත්ත්වයන්හිදී ඔබ සැවොම සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර ඇති අතර ඉදිරි වසර තුළදීද ඔබගේ කැපවීමෙන් යුත් කාර්යභාරයන් ඒ අයුරින්ම පවත්වාගත යුතු” යැයි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බදාදා (29) දින කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකායේ භටපිරිස් අමතමින් පැවසීය.

1 වන බලකා මූලස්ථානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව එහි පළමු සංචාරය සිදුකළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව, 1 වන බලකා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් අමතමින්, මෙම උත්සවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් 1 බළකායේ බලකාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුද කළ අතර වෘත්තීමය හමුදාවක් ලෙස ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සියලු නිලයන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය. තවද, මත්ද්‍රව්‍ය උවදුර සහ අනෙකුත් සමාජ විරෝධී ක්‍රියාකාරකම් අප මාතෘභුමියෙන් තුරන් කිරීමට ලබාදෙන සහයෝගය වෙනුවෙන් සෑම පාර්ශවයකින්ම යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ප්‍රශංසාව හිමිවන බව ද එතුමන් තවදුරටත් ප්‍රකාශ කළේය.

“අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දුෂ්කර පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරිම පිළිබඳ අවධානය යොමුකරමින් පාසල් ගොඩනැගිලි, ක්‍රීඩා පිටි, පොදු ක්‍රීඩාංගණ, පොදු ස්ථාන, වැව් සහ පාලම් ආදී සංවර්ධනය ඉලක්ක කරගත් ව්‍යාපෘති අප විසින් ඉටුකිරීම වැදගත් වේ. එම ජාතික කර්තව්‍යයන් වෙනුවෙන් ඔබේ කැපවීම ඉදිරි වර්ෂයේදීත් එලෙසින්ම අපේක්‍ෂා කරමි. එහිදී, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ලබාදුන් සහයෝගය ද පැසසුමට ලක්කල යුතුයි” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පෙන්වා දුන්නේය.

තම ධූර කාලය තුළ යුද්ධ හමුදාවේ සියලු නිලයන් වෙනුවෙන් උසස්වීම් ලබාදීම පිළිබඳ අවධානය යොමු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එළඹෙන නව වසරේදීත් යුද්ධ හමුදාවේ සියලුම නිලයන් වෙනුවෙන් තවදුරටත් උසස්වීම් ලබා දෙන බවට එහිදි සහතික විය.

“එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා අපගේ දායකත්වය හා කැපවූ කාර්යභාරය මෙන්ම අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට ඔබ දක්වන කැපවීම වෙනුවෙන් ද ප්‍රශංසා කළ යුතුයි. එළඹෙන නව වසර වෙනුවෙන් මෙම හමුව සංවිධානය කිරීම පිළිබඳව 1 වන බලකායේ බලකාධිපති ඇතුළු ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකළ සියලුදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි. අවසාන වශයෙන්, නව වසර වෙනුවෙන් ඔබ සියලුදෙනා වෙත සහ ඔබගේ ආදරණීයන් වෙනුවෙන් මගේ සුභපැතුම් පිරිනමමි. අපගේ සන්නද්ධ හමුදා සාමාජිකයින් කෙරෙහි ජාතියේ ඉහළ ගෞරවයක් හිමිවි ඇති බැවින් එය තවදුරටත් වැඩිදියුණු කරගනිමින් රාජකාරි ඉටුකිරීමට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරමි.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

තවද, තම රාජකාරීන් ඉටුකිරීම සඳහා විශේෂ පුහුණුවීම් ඉතා වැදගත් වන බවත් 1 වන බළකායේ ඒකායන අරමුණ එලෙස පුහුණු කිරීම බවත්, මෙම බළකායට අයත් සියලුම නිලධාරින්ට සහ සෙසුනිලයින්ට අනෙකුත් යුද්ධ හමුදා සාමාජිකයින්ට වඩා වගකීම් වැඩි බවත්, තවද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සියලු හැකියාවන්ගෙන් පරිපූර්ණ හා රණශූර නිලධාරින් බිහිකිරීම වෙනුවෙන් බුත්තල පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලය ස්ථාපිත කිරීම ඒ සඳහා හොඳම උදාරහරණය වන බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ 1 වන බලකායට අයත් රණවිරුවන් සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් එම රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ස්තූතිය පුදකිරීමට ද කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.