Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2021 05:32:39 Hours

එන්නත්කරණ වැඩසටහන් තවදුරටත් පුළුල් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (01) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී තවත් එක් සාකච්ඡාවක් පැවැත්විණි.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ගතවු දින කිහිපය තුළ රට පුරා කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දියත් කරනු ලබන එන්නත්කරණ වැඩසටහන්, ආසාදිතයින් හඳුනාගැනිම, වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සහ වත්මන් තත්ත්වය පිළිබඳව මෙම සාකච්ඡාවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දැක්විය.

මෙරට සියලු ජනතාවට මෙම වසර අවසානයට පෙර එන්නත් ලබාදීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු එන්නත්කරණ වැඩසටහනට සමගාමීව වයස අවුරුදු 20 – 30 වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ට එන්නත් ලබාදීම කඩිනමින් ආරම්භ කරන බව එන්නත්කරණ වැඩසටහනේ ඵලදායිතාවය විස්තර කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැවසීය. එමෙන්ම, දිවයින පුරා ආබාධිත, රෝගී සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයස අවුරුදු 60 වැඩි පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාවට නැංවු ජංගම එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වීය.

මේ වනවිටත් එන්නත් වර්ග 5 කින් එන්නත් මාත්‍රා මිලියන 23 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් ඇති අතර ඒවායින් 70% ක් පමණ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට එන්නත් කිරීම සඳහා මේ වනවටත් භාවිතා කර ඇති අතර සැප්තැම්බර් මස 21 දිනට ප්‍රථම වයස අවුරුදු 30 ට වැඩි සියලුදෙනාට එන්නත් ලබාදීම අවසන් කරන බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. එමෙන්ම ඇඟලුම් කර්මානතය වැනි අපනයන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් සේවය කරන වයස අවුරුදු 30 ට අඩු තරුණ තරුණියන් 800,000 කට පමණ මේ වනවිට එන්නත ලබාදී ඇති බව යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි වැඩිදුරටත් පැවසීය.

එසේම, විදේශ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වන පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතීන බව යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පැවසීය. එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ වුවද, එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව සිදුකරමින් සැප්තැම්බර් මස 21 දින වනවිට සාර්ථකව අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පැවති මෙම සාකච්ඡාව අතරතුරදී, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, වෛද්‍යවරුන් සහ අවසාන වසරේ වෛද්‍ය සිසුන් එක්ව සංවිධානය කළ උපදේශන සත්කාරයේ ඵලදායිතාවය හේතුවෙන් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයන් රට තුළ ව්‍යාප්තවන තත්තවය හමුවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව අවම කරගැනීමට හැකිවුණු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැවසීය.

තවද, මෙරට දිනකට සිදුවන මරණ අනුපාතය 190 – 210 අතර පැවතියද මෙම උපදේශන සත්කාරය හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාවට අවම කරගැනීමට හැකි වු බව යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි වැඩිදුරටත් පැවසීය. එසේම, පසුගිය දින කිහිපය තුළ කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් වාර්තාවීම තරමක් අඩුවී ඇති බවද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පෙන්වාදුන්නේය.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් බැංකු හා තැපැල් කාර්යාල වලින් ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව ලබාදීම පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී අදහස් දැක්වීය. හමුදා සහ පොලිස් මාර්ග බාධකවලදී යම් පුද්ගලයින්ගේ සාධාරණ අවශ්‍යතාවයන් සඳහා මානුෂීය හේතුන් මත නම්‍යශිලීව ක්‍රියාත්මක වන ලබන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැවසීය.

එසේම, කාර්ය සාධක බලකා සාමාජිකයින් සමඟ පැවැති මෙම සාකච්ඡාවට මාර්ග ගත ක්‍රමවේද ඔස්සේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද එක්වුහ.

මෙම සාකච්ඡාව අවසානයේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥයින්ගේ නියෝජිත කණ්ඩායමක් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙහෙයුම් ඒකකය නිරීක්‍ෂණය කළහ.

පැය 24 පුරාම 1904 හෝ 1906 දුරකථන අංක ඔස්සේ සම්බන්ධවන සියලු දෙනාට සේවය සැපයීම සඳහා මෙම මෙහෙයුම් ඒකකය තුළ වසංගත රෝග විද්‍යාඥයින්, වෛද්‍ය නිලධාරීන්, දත්ත ක්‍රියාකරුවන්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්, යුද, නාවික හා ගුවන් හමුදා, පොලිසිය සහ අනෙකුත් අදාළ අංශ නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලය යොදවා ඇත. කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් පිළිබඳ වාර්තා වීමෙන් පසු කණ්ඩායමක් ලෙස මෙම මෙහෙයුම් ඒකකය තුළ ක්‍රියාකරන ආකාරය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැහැදිලි කළේය.