Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2021 18:09:33 Hours

ගුවන් සංක්‍රමික බලසේනාවේ ඉදිරි උපායමාර්ග අතිගරු ජනාධිපතිතුමන් වෙත එළිදක්වයි

සන්නද්ධ සේවාවන්හී සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් පසුගිය අඟහරුවාදා (03) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකල සංචාරය අතරතුරදී, වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක ගුවන් සංක්‍රමික බලසේනාවේ ආරම්භය සහ එහි ඉතිහාසය මෙන්ම අතිරේක ප්‍රහාරක බලකාය පිළිබඳ ලියැවුණු ‘Towards a Dazzling Future; Air Mobile Brigade 2021-2026’ ග්‍රන්ථය එළිදැක්විය.

‘Towards a Dazzling Future; Air Mobile Brigade 2021-2026’ නම්වු මෙම ග්‍රන්ථය එළිදැක්වීම තුළින් ගුවන් සංක්‍රමික බලසේනාවේ ධාරිතාවය සහ හැකියාවන් ප්‍රවර්ධනය කරමින් නව උපායමාර්ගික ප්‍රවේශයන් සකස් කරනු ලබයි.

වර්ෂ 1994 ආරම්භ වූ ගුවන් සංක්‍රමික බලසේනාව එතැන් සිට දේශය මුදවාගැනීමේ මානූෂිය මෙහෙයුම් සඳහා දක්වන ලද දායකත්වය මෙමගින් සාරාංශගත කර ඇති අතර, තවද එම කාලසීමාව තුළ දියත්කරනු ලැබු ක්‍රියාන්විතයන්වල සීදුවූ අතපසුවීම් මගහරවාගනිමින් ‘2020-2025 යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්මට’ අනුකූලව ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් විශේෂ ක්‍රියාන්විත බලකා මෙන්ම පාබල හමුදාවන්ගේද හැකියාවන් වැඩිදියුණු කිරීමට මෙමගින් අපේක්‍ෂා කෙරේ.

ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී, ගුවන් සංක්‍රමික බලසේනාවේ ඓතිහාසික මතකයන් පිළිබඳ සිහිපත් කළ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ‘2020-2025 යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලැස්ම’ අනුව ගුවන් සංක්‍රමික බලසේනාව සතු කාර්යභාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළේය.

යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග, ආරක්‍ෂක කටයුතු, ජාතික ආරක්‍ෂාව, නවීකරණ හා ප්‍රමිතිය වැඩිදියුණු කිරීම, කාලීනව සිදුකල යුතු වෙනස්කම් සහ ගෝලීය තර්ජන හමුවේ ඉදිරි වසර පහ තුල ක්‍රියාකිරිම ආදී කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් මාස දහයකට අධික කාලයක් සිවිල් - හමුදා විද්වතුන්ගේ සමුහික ප්‍රයත්නයක් ලෙස නිර්මාණය වු ‘2020-2025 යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලැස්ම’ පිළිබඳව මෙහිදි පැහැදිලි කළේය. ගුවන් සංක්‍රමික බලසේනාවේ වත්මන් බලසේනාධිපති ලෙස කර්නල් සුභත් සංජීව කටයුතු කරයි.

ග්‍රන්ථය පිළිබඳ පුර්වීකාවක් සැපයීමෙන් අනතුරුව, ‘Towards a Dazzling Future; Air Mobile Brigade 2021-2026’ ග්‍රන්ථයේ මුල්පිටපත අතිගරු ජනාධිපතිතුමන් වෙත එහිදි පිළිගැන්විය. එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ එක්වූහ.

මෙම අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පුද කළ යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ සමරු තිළිණයක් ද අතිගරු ජනාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

ගුවන් සංක්‍රමික බලසේනාව වර්ෂ 1994 මැයි මස 1 දින වවුනියාවේදී බ්‍රිගේඩියර් එච්.එන්. හලංගොඩගේ අණදීම යටතේ හදිසි අවස්ථාවකදී ගුවන් සංක්‍රමික උපක්‍රම භාවිතා කරමින් ක්‍ෂණිකව යෙදවීම සඳහා ආරම්භ කරන ලදී. යුධ පිටියේ නිර්භීතව 'රිවිරැස මෙහෙයුම - 1995', 'ජයසිකුරු මෙහෙයුම - 1997', 'කිණිහිර මෙහෙයුම - 2000', 'ඇග්නිකීලා මෙහෙයුම - 2001' සඳහා එක්වු ගුවන් සංක්‍රමික බලසේනාව 2006 – 2009 පැවති අවසන් මානුෂීය මෙහෙයුම සඳහා ද සක්‍රියව දායක විය. මේ වනවිට, ගුවන් සංක්‍රමික බලසේනාව බලඇණි පහකින් සමන්විත වන අතර එනම්, 24 ශ්‍රී ලංකා පාබල හමුදාව, 12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 5 ගැමුණු හේවා බළඇණිය, 3 ගජබා රෙජිමේන්තුව සහ 1 විජයබාහු පාබල රෙජිමේන්තුව වේ.