Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2021 21:41:24 Hours

64 වන සේනාංකයේ මුලිකත්වයෙන් මුලතිව් ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉදිකිරීමේ කටයුතු අරඹයි

පුජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් සහ පුජ්‍ය පිලියන්දල අමිතඝෝෂ හිමියන්ගේ පූර්ණ අනුග්‍රහකත්වය ඇතිව මුලතිව්, මාන්නන්කඩල් ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉදිකරදීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.

මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්ව ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදීමට නියමිතය.

ආරක්‍ෂක හමුදාවන් හා සාමාන්‍ය ජනතාව අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරිමටත් අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම සඳහාත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව සුභසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.

නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (12) දින පැවැති අතර එම අවස්ථාවට 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න සහභාගි විය. නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන පුජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් සහ පුජ්‍ය පිලියන්දල අමිතඝෝෂ හිමියන් ද එම අවස්ථාවට වැඩමකර සිටියහ.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂගේ උපදෙස් මත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී.ඩී. ඇතුල්දොරලආරච්චි විසින් අධීක්‍ෂණය කරති.