Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2021 19:03:56 Hours

දකුණු සුඩානයේ රාජකාරී කරනු ලබන ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩායමේ සේවය ඇගයේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දකුණු සුඩානයේ ස්ථාපිත කර ඇති දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය සහ කාර්යසාධනය පිළිබඳ දකුණු සුඩානයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වෛද්‍ය බලකායේ නියෝජ්‍ය වෛද්‍ය ලුතිතන් කර්නල් රිෆාට් සමාන් (Lt Colonel Dr Riffat Zaman) විසින් විශේෂ ඇගයුමක් පසුගිය ජුනි මස 2 වන දින සිදු කරන ලදී.

මේ වන විට රාජකාරි කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලාංකික හත්වන වෛද්‍ය කණ්ඩායම මෙලෙස විශේෂ ඇගයුමට ලක් කරන ලද අතර ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්ඩායමේ දැඩි කැපවීම, ප්‍රසශ්ත දැනුම, පළපුරුද්ද, කළමනාකරණය සහ කුසලතා පිළිබඳ මෙහිදි ඇගයුමට ලක් කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමක් රාජකාරි කරනු ලබන දකුණු සුඩානයේ බෝර් නගරයේ ස්ථාපිත දෙවන මට්ටමේ රෝහල වෙත පැමිණි නියෝජිත පිරිස, මේජර් සමිත් කුලතුංග විසින් පිළිගත් අතර කර්නල් රොෂාන් ජයමාන්න විසින් රෝහල් කාර්යභාර්ය පිළිබඳ විශේෂ හඳුන්වාදීමක් සිදු කළේය.

ලුතිතන් කර්නල් රිෆාට් සමාන් (Lt Colonel Dr Riffat Zaman) විසින් මෙම වෛද්‍ය කණ්ඩායමේ මනා කැපවීම, අවංකකම, විනිවිදභාවය සහ සහයෝගීතාවය පිළිබඳවත් මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමත්, දෙවන මට්ටමේ රෝහලක් වශයෙන් සිදුකරන අතිමහත් කැපවීමත් අගය කරන ලදී.

මෙහිදි බාහිර රෝගීන් හතළිස් දෙනකු සඳහා දින 60 කදී ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් ලබාදීම පිළිබඳව ද ඇගයීමට ලක්කරන ලදී.

තවද, කොවිඩ්-19 වෛරස තත්ත්වය පවතින මෙම කාලවකවානුව තුළ කොවිඩ්- 19 වෛරසය ආසාදිත රෝගීන් සදහා සිදුකරනු ලබන ප්‍රතිකාර, අනෙකුත් හදිසි ප්‍රතිකාර කටයුතු, වෛද්‍ය පහසුකම් සහිත වෛද්‍ය කණ්ඩායමක් ගුවන් මගින් රෝගීන් රැගෙන විත් ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සහ හදිසි ප්‍රතිකාර අංශය මගින් සිදුකරන ප්‍රතිකාර කිරිම් මෙම නියෝජිත පිරිස පුහුණුවේදී නිරීක්‍ෂණය කරන ලදී.