Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2021 18:05:09 Hours

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් යුද්ධ හමුදාවෙන්

දිවයින පුරා සංචරණ සීමාවන් පැනවීම හේතුවෙන් මාසික විශ්‍රාම වැටුප් ලබාගැනීමට නොහැකිව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා බැංකු වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අද (10) දින යුද්ධ හමුදාව විසින් ලබාදුන්හ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ යොදවා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයනු ලැබිණ.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය, ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ ලබාදුන් උපදෙස් මත සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනිම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන හෙට (11) දිනයේ ද ක්‍රියාත්මක වන අතර විශ්‍රාම වැටුප් ලබාගැනීමට නොහැකි වු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අදාල දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම සේවා නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් යුද්ධ හමුදාවෙන් සපයන ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා මෙන් ඉල්ලා සිටියි.