Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2021 16:09:51 Hours

මහනුවර යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මහනුවර පිහිටි 11 වන සේනාංක මුලස්ථානයට ආසන්නයේ යුද්ධ හමුදාව වෙනුවෙන් අභිනවයෙන් ඉදිකෙරෙන යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී.

11 වන සේනාංකයේ එවකට සේනාංකාධිපති ලෙස කටයුතු කල වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර පසුගිය සඳුදා (07) දින නව යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කලේය.

11 වන සේනාංකයේ වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් ඉදිකරමින් පවතින රෝහල් පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි පිළිගැනීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා කැටුව යන ලදී. එහිදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඉදිකිරීම් කටයුතුවල නියැලි සිටින නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

මෙම සංචාරය අතරතුර, ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙම සාකච්ඡාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවා, උපකරණ මාස්ටර් ජෙනරල්, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ඇතුළු යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විත මෙම රෝහල තුල ඇඳන් 123 ක ධාරිතාවයකින් සමන්විත අතර යුද්ධ හමුදාවේසේවයේ කරන නිලධාරීන් හා සෙසුනිලයින් සහ විශ්‍රාමික නිලධාරීන් හා සෙසුනිලයින්ට නේවාසිකව ප්‍රතිකාර සිදුකිරීම සඳහා වාට්ටු 4 කින් යුක්තය. මෙම රෝහල නවීන තාක්‍ෂණික පහසුකම් සහ නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විතය.මෙම රෝහල් සංකීර්ණය විශේෂඥ වෛද්‍ය කාමර, එක්ස්-රේ කිරණ ඒකකයක්, ඊසීජී ඒකකයක්, රසායනාගාරයක්, Ultra Sound ස්කෑන් ඒකකයක්, ඔසුහලක්, දැඩිසත්කාර ඒකකයක්, දන්ත ශල්‍යාගාරයක්, හෙද විවේක කාමරයක්, කාන්තා ඒකකයක් සහ ප්‍රභූ ප්‍රතිකාර ඒකකයක් ආදී අංශවලින් සමන්විතය.

අනෙක් ගොඩනැගිල්ලි තුල බාහිර රෝගී අංශයක්, විදුලි සැපයුම් අංශයක්, ශල්‍යාගාරයක්, රෙදි සේදීමේ ස්ථානයක්, භෞත චිකිත්සක ඒකකයක්, පරිපාලන සංකීර්ණයක් සහවෛද්‍ය නිලධාරීන්ගේ නවාතැන් ඇතුළු තවත් අංශ කිහිපයක් ස්ථාපිත කෙරේ.

එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර පල්ලේකැලේ ඉදිකරමින් පවතින හොකී ක්‍රීඩාංගණයේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීය.

මෙහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කමිටුවේ උප සභාපති ලෙස කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක විසින් ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ විස්තර කළේය. එම පරිශ්‍රය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් පහසුකම් ඉදිකිරීම සඳහාද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙහිදි උපදෙස් ලබාදුන්නේය.