Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2021 22:55:04 Hours

මඩේ එරුණු එක්ස්කැවේටර් යන්ත්‍රයක් ඉවත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහය

කුඹුරක බිම් සකසමින් තිබූ එක්ස්කැවේටර් යන්ත්‍රයක් මඩේ එරීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ රථ යොදාගෙන එය ගොඩගැනීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන යටතේ කලගෙඩිහේන, ගලහිටියාව ප්‍රදේශයේ අත්හැරදමා තිබූ වෙල් යායක ගොවිතැන් කටයුතු සඳහා බිම් සැකසීමට අදාළ එක්ස්කැවේටර් යන්ත්‍රය යොදවා තිබුණි.

මේවන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ එම කුඹුරේ පැවති අධික මඩ සහිත ස්වභාවය නිසාවෙන් මෙලෙස බිම් සැකසූ එක්ස්කැවේටර් යන්ත්‍රය දැඩි ලෙස මඩෙහි එරිණි. එක්ස්කැවේටර් යන්ත්‍රයේ දම්වැල්වල ඉහළ මට්ටමටත් ඔබ්බෙන් ගිලී යන තුරුම එක්ස්කැවේටර් යන්ත්‍රය ගොඩ ගැනීමට එහි හිමිකරුට නොහැකි වූයේය. ‌ඒ අවස්ථාවේදී එක්ස්කැවේටර් යන්ත්‍රයේ හිමිකරුවන් එම එක්ස්කැවේටර් යන්ත්‍රය ගොඩගැනිම සදහා යුද්ධ හමුදා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලැබිණි. එසේම කලගෙඩිහේන, එක්සත් ගොවි සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් ලිපියක් මගින්ද අදාල ඉල්ලීම යුද්ධ හමුදාධිපතිතුමා වෙත යොමුකර තිබුණි.

ඒ පිලිබදව අවධානය යොමුකල ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිද්ධිය පිළිබදව ඉංජිනේරු බලකාය විසින් විමර්ශණයක් සිදුකර අවශ්‍ය කටයුතු සුදානම් කරන්නැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකරට උපදෙස් ලබාදෙන ලදි.

ඉන් අනතුරුව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර ගේ අධීක්‍ෂණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ආපදා රථයක් යොදා ගනිමින් පැය 10 ට අධික වෙහෙසකර මෙහෙයුමකින් අනතුරුව අදාළ එක්ස්කැවේටර් යන්ත්‍රය ගොඩ ගැනීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ.

කොවිඩ් - 19 උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලබා දී ඇති අවස්ථාවක සාමාන්‍ය ජනතාවගේ මෙවැනි හදිසි අවශ්‍යතා පිලිබඳව අවධානය යොමුකර ඔවුන්ට අවශ්‍ය සේවය සැපයීමටත් යුද්ධ හමුදාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එක්ස්කැවේටර් යන්ත්‍රයේ හිමිකරු මෙන්ම ප්‍රදේශවාසීහු යුද්ධ හමුදාවට සිය ප්‍රණාමය පුද කළහ.